Welcome to Buddhistvision

You can download thripitaka, sutta deshana, dhamma books.

තෙරුවන් සරණයි !

මෙම වෙබ්අඩවියට පැමිණි ඔබහට ත්‍රිපිටකය, සූත්‍ර දේශණා, බෞද්ධ ග්‍රන්ථ ආදි බොහෝ දේ ලබා ගත හැක.

Buddhist image gallery

We have alot more than pictures, please take a few minutes to explore our huge selection!

බුද්ධ ජයන්තිය ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව

අංග සම්පූර්ණ බුද්ධ ජයන්තිය ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව,ජට්ඨ සංගායනා ත්‍රිපිටකය, පාළි-සිංහල-ඉංග්‍රීසි ත්‍රිපිටකය

Sinhala Dhamma Desana | Sinhala Dhamma Talks

This website contains a collection of Dhamma Deshana . You can download as a MP3 or video format.

සතර සංග්‍රහ වස්‌තුව

සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ අභිඤ්ඤා වග්ගයේ සංගහවත්ථු සූත්‍රයෙන් පුද්ගලයෙකු ගේ මෙලොව ජීවිතයට හා පරලොව ජීවිතය සැපවත් කර ගැනීමට උපකාර වන කරුණු සතරක්වන දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව, හා සමානාත්මතාව යන සිව් සඟරාවක හෙවත් සතර සංග්‍රහ වස්තු පිළිබඳ විස්තර කැරේ.
සතර සංග්‍රහ වස්තු හේතුකොට ගෙන යහපත් පවුල් පරිසරයක්, යහපත් සමාජ රටාවක් ආයතනයක් රටක් නිර්මාණය කර ගැනීමට හැකිවේ. පරිත්‍යාගය හෙවත් දීම තුළින් ඕනෑම කෙනෙකු තමාට අවනත කරගත හැකි බව පැහැදිලියි. පි‍්‍රය වචනය මගින් ද මිල මුදලක්දී වුවත් කරගත නොහැකි වැඩක් කර ගැනීමට කෙනෙකු හිතෛශී පුද්ගලයෙකු බවට පත්කර ගැනීමට හැකි වෙයි. අර්ථචර්යාව යනු පුද්ගලයකු ගේ දියුණුවට අවශ්‍ය මඟ පෙන්වීමයි. සමානාත්මතාව තුළින්ද ඒ පුද්ගලයන් හා සමව දුක සැප බෙදා හදා ගෙන ජීවත්වීම තුළින් ජනපි‍්‍රය පුද්ගලයකු වීමට හැකියාව ලැබේ. මේ අනුව සතර සංග්‍රහ වස්තු යම් පුද්ගලයෙක් විසින් අනුගමනය කරන්නේ නම් ඒ පුද්ගලයාට මනා සමාජ සම්බන්ධතාවක් ගෙඩනගා ගැනීමට ඒ උපකාර වන බව පැහැදිලි කර ඇත.

දානය

සංග්‍රහ වස්තුවල පළමු සංග්‍රහ වස්තුව වන්නේ දානයයි. මේ පිළිබඳ කරුණු එතරම් විස්තර කිරීම අවශ්‍ය නොවේ යැයි සිතමි. තමා සතු දැහැමෙන් සෙමෙන් සපයාගත් ධන ධාන්‍ය ඈ වස්තු අලෝභාදී චේතනාවෙන් යුතුව අන්‍යයන්හට පරිත්‍යාග කිරීම දීම, වෙයි. දානය, බුදු දහමේ විවිධ තේමා යටතේ් විස්තර කැරේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ගේ් පළමුවැන්න වන දානය, දස පින් කිරියවත් අතර ද පළමු වැන්න වේ. රාජ ධර්මයන්හි පළමුවැන්න වන්නේ ද දානයයි. දස පෙරුම් දම් වල පළමුවැන්න වන්නේ ද මෙය යි. අටතිස් මංගල කාරණාවන්ගෙන් එකක් වන්නේ ද දානය වේ. බුදුවරයන් වහන්සේගේ අනුපිළිවෙළ කතාවන්හි (ආනුබුබ්බි කතා) පළමු වැන්නට ඇතුළත්ව ඇත්තේ ද දානය වේ. සත්ත්වයා සසර දිගින් දිගට ගමන් කරන්නේ තෘෂ්ණාව නිසා ය. තෘෂ්ණාව නැතිකර ගැනීම සඳහා විශේෂයෙන් උපකාර වන්නේ පරිත්‍යාගය හෙවත් දීම ය. තෘෂ්ණාව නැති කිරීමේ පළමු පියවර දානය වශයෙන් සඳහන් කළ හැකි වෙයි. එහෙයින් සුවිශේෂි පින්කම් අතර දානයට ප්‍රධාන තැන හිමිවී ඇත.
පරිත්‍යාගය දෙ ආකාරයකට කළ හැකි බව දහමේ දැක්වේ. එනම්,
1. අනුග්‍රහ බුද්ධියෙන් දීම , 2. පූජා බුද්ධියෙන් දීම යනුවෙනි.
අනුග්‍රහ බුද්ධියෙන් දීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ දුගී මගී යාචකාදී අසරණ අනාථ වූවන් සඳහා කරුණා මෛත්‍රී සිතින් යුක්තව ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය අනුග්‍රහයක් උපකාරයක් වශයෙන් කරන පරිත්‍යාගයයි. සමාජයේ දුගී මගී යාචකාදීන්, අසරණ අනාථ නිවාසවල වාසය කරන්නන් වැඩිහිටි නිවාස ආදියේ උදව් උපකාර අවශ්‍ය අයට , හැකියාව ඇති ධන සම්පත් ඇති පුද්ගලයන් උදව් නොකරන්නේ නම් ඔවුනට වෙන කාගේ පිහිටක් ද? එහෙයින් අසරණයන්ට පිහිටවීම ධනවත් සත්පුරුෂයන්ගේ් යුතුකමක් බව සිහිපත් කළ යුතු වෙයි.
2. පූජා බුද්ධියෙන් දීම යනුවෙන් අදහස් කරන්නේ තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් හා කර්මඵල විශ්වාසයෙන් යුතුව සීලාදී ගුණ දහමින් යුතු උතුමන්ට පරිත්‍යාග කිරීමයි.
තවද දානයේ ප්‍රභේද තුනක් දැක්වේ. එනම්
1. ආමිස දානය, 2. අභය දානය, 3. ධර්ම ධානය වේ.
ආමිස දානය නම් ආහාර පාන ආදී දස දාන වස්තුª දීම යි. අභිධර්මයට අනුව නම් රූප දාන, ශබ්ද දාන ගන්ධ දාන ආදි සය ද විනය පිටකයට අනුව චීවර, පිණ්ඩපාත, සෙනසුන් ගිලානපච්චය ද ආමිස දානයට අයත් ය.
අභය දානය නම් ජීවිතයක් විපතින් මුදවා ගැනීම, රජ සොර, සතුරු ගිනි, දිය යන පංච උපද්‍රව වලින් ආරක්ෂා කිරීම, මරණයට ගොදුරු වන සත්ත්වයන් පුද්ගලයන් ආරක්ෂා කර ගැනීම එයින් මුදා ගැනීම, රෝගීන් සුවපත් කිරීම, සිරකරගෙන සිටින සතුන් මුදා හැරීම වැනි කටයුතුය. පංච සීලය ආරක්ෂා කිරීමත් අභය දානයට ඇතුළත් ය.
ධර්ම දානය නම් - දහම් දෙසීම,දහම් දේශනා කරන දේශකයන් ට අවශ්‍ය පහසුකම් සැපයීම, ධර්මය ඉගෙනීමට උපකාර කිරීම, දහම් පොතපත මුද්‍රණය කර බෙදාහැරීම ආදී ක්‍රම මගින් ජනතාව නිවන් මගට යොමු කරවීමට ක්‍රියා කිරීම ධර්ම දානයට ඇතුළත් වේ. දාන අතරින් උතුම්ම දානය වන්නේ ධර්ම දානයයි. 'බුදුරජාණන්වහන්සේ බලසංගහ වත්ථු සූත්‍රයේදී මෙසේ දේශනා කොට ඇත. 'එතදග්ගං භික්ඛවේ දානං යදිදං ධම්ම දානං' මහණෙනි, දාන අතරින් ධර්ම දානය අග්‍රයි. දන්දීම හේතු කොට ගෙන දන් දෙන තැනැත්තා බොහෝ දෙනාට පි‍්‍රය වන අතර බොහෝ දෙනකු ඔහු ඇසුරු කිරීමට පි‍්‍රය කරති. දෙන තැනැත්තාගේ යසස කීර්තිය පැතිරෙන අතර විශාරදව සභාවලට පැමිණිය හැකි වෙයි. අග්‍රව දන් දෙන තැනැත්තා අග්‍ර ආයු, වර්ණ, සැප , බල, යසස් , කීර්ති ලබයි.

පි‍්‍රය වචනය

දෙවන සංග්‍රහ වස්තුව වන්නේ පි‍්‍රය වචනයයි. පෙය්‍ය වජ්ජන්ති (පිය වචන) යනුවෙන් අටුවාවේ සඳහන් වෙයි. කෙනෙකුට ආහාර පානාදිය ලබා දීමෙන් සතුටු කරන්නා සේම, කිසි මිල මුදලක් විය පැහැදම් නොකර දෙදෙනෙක් අතර පිවිතුරු බැඳීමත් විශ්වාසයක් සමීප බවක් ඇතිවීමට පි‍්‍රය වචනය උපකාර වෙයි. තමාටත් අහිත නොවන, අසන්නාටත් අහිතක් නොවන, අසන්නා බොරුවෙන් වංචාවෙන් නොරවටා බොරු කීම ආදී වාචසික අකුසල් වලින් තොරව කතා කරන්නා වූ වචන, පි‍්‍රය වචන ය. අසන්නා ද සතුටට පත් වන, ඔහුට යහපත ගෙන දෙන වදන්, පි‍්‍රය තෙපුල් ලෙස දැක්විය හැකි ය.
එහෙයින් අවස්ථාචෝචිතව, සුදුසු කාලයෙහි මෘදු මොළොක් සත්‍ය චවන කතා කිරීම සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට හේතුවෙයි. අවශ්‍යතා පහසුවෙන් එමඟින් ඉටු කරගත හැකිවෙයි. මිනිස් වර්ගයා පමණක් නොව තිරිසන්ගත සත්වයා පවා මිහිරි, මෘදු මොළොක් බසට පි‍්‍රය කරන බව නන්දි විශාල ජාතක කතා පුවත හොඳම නිදසුනකි. එහෙයින් සුහදශීලී, උදාර, ගුණ දහමින් පිරි, යහපත් සමාජ පරිසරයක් ඇති කිරීම සිය නිවසෙන් පටන් ගත යුතු අතර, පාසල, කාර්යාලය, වැඩපොළ ආදී සෑම තැනකම ඒ ආයතන ප්‍රධානීහු පුද්ගල තත්ත්ව නොසලකා පි‍්‍රය වචනයෙන් ඇමතීමට උත්සුකවෙත්වා.

අර්ථ චර්යාව

සතර සංග්‍රහ වස්තූන්ගේ තෙවන සංග්‍රහ වස්තුව වන්නේ, අර්ථචර්යාව යි. මින් අදහස් කරනු ලබන්නේ පුද්ගලයා ගේ අභිවෘද්ධියට, දියුණුවට හේතුවන ආකාරයට කටයුතු සැළසීමයි. රාජ්‍ය පාලන ධර්මයක් වශයෙන් ගන්නේ නම් මෙයින් අදහස් කරනු ලබන්නේ රට වැසියන්ගේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය කරන මඟපෙන්වීම හා සම්පත් ලබාදීම ආදියයි. ගොවිතැන් කරන ගොවියාට අවශ්‍ය බීජ, පොහොර, ඉඩම්, අස්වැන්න හා අලෙවි කරගැනීමට පහසුකම් ආදිය සපයාදීම ඔහු පිළිබඳ අර්ථචර්යාවකි. වෙළඳාම් කරන පුද්ගලයකු නම් ඔහුගේ වෙළෙඳ ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය ධනය, අමුද්‍රව්‍ය ආදී අවශ්‍ය දේ සම්පාදනය කරදිම අවශ්‍ය ය. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍ර දේශනාවේදී ස්වාමි සේවක සම්බන්ධතාව ගොඩනැගෙන ආකාරයට කටයුතු කළ යුතු ආකාරය එම සූත්‍රයේ දක්වා ඇත.
තම සේවක සේවිකාවන්ට කළ හැකි ප්‍රමාණයට වැඩ පැවරීම, කලට වේලාවට කෑම බීම, බත් වැටුප් දීම ගිලන් වූ විට අවශ්‍ය බෙහෙත් හා විවේකය ලබාදීම ආදී ලෙස කටයුතු කරන විට සේවක සේවිකාවන්ද තම වගකීම් මැනවින් ඉටු කරනු ඇත. එවිට ස්වාමි සේවක සම්බන්ධතාව වර්ධනය වීම තුළින් දෙපිරිසගේම ආර්ථික සංවර්ධන කටයුතු මැනවින් සිදුවෙයි. එපමණක් නොව සමහර නොමඟ යන්නවුන් සුමඟට ගැනීම, ආධ්‍යාත්මික ගුණ දහම් පෝෂණය කරගැනීමට මඟ පෙන්වීම කළ යුතු වේ. මෙසේ කටයුතු කිරීම තුළ, අන්‍යොන්‍ය විශ්වාසය, පිළිගැනීම ගෞරවය ඇතිවේ. භෞතික දියුණුවට කටයුතු කරන්නා සේම ආධ්‍යාත්මික දියුණුව සඳහා අවශ්‍ය කරන ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා ආදී ගුණ දහම් දියුණු කරගැනීමට සහ ලෝකෝත්තර සැපය සඳහා මඟ පෙන්වීම අර්ථචර්යාවේ උපරිම අවස්ථාව වශයෙන් දැක්විය හැකි ය.

සමානාත්මතාව

සංග්‍රහ වස්තූන්ගේ අවසාන සංග්‍රහ වස්තුව වන්නේ සමානාත්මතාවයි. දුක සැප දෙක සමව බෙදා ගෙන කටයුතු කිරීමට හැකිවීම සමානාත්මතාව නම්වේ. මෙම ගුණයද පුද්ගලයන් තුළ අවශ්‍යයෙන්ම ඇති කරගත යුතු ගුණ ධර්මයකි. ගෘහ ජීවිතයක් ගතකරන අඹූසැමි දෙදෙනාත් දූ දරුවන් ඇතුළු පවුල් ඒකකය තුළ සම ආකාරයෙන් සැළකිලි සත්කාර සහිතව ගෞරව සම්ප්‍රයුක්තව ආදරය සෙනෙහස දක්වන්නේ නම් පවුලේ සියලු දෙනාම සතුටින් සාමයෙන් අන්‍යොන්‍ය විශ්වාසයෙන් කටයුතු කරන අතර වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම් වැනි සමාජගත දුර්ගුණ ඇති නොවේ.
මෙසේ පාසල, කාර්යාලය, ව්‍යාපාර, ආයතන ආදියේ ජාති ආගම් කුල භේද පක්‍ෂ භේද නොතකා නිලතල භේද නොසලකා සැමදෙන සමානාත්මතාවයෙන් යුතුව දුක සැප දෙක බෙදා හදාගෙන කටයුතු කරන්නේ නම්, එම ආයතන ප්‍රධානීන් හා අනෙකුත් සෑම දෙනාත් ඉතා ප්‍රසන්නව පි‍්‍රයව කටයුතු කරනු දක්නට ලැබිය හැකි වෙයි. සිදුහත් කුමරුගේ මාලිගාවෙහි දැසි දස් කම්කරුවන්ට පවා ඇල් සහළේ බත් දුන් බව සඳහන් වෙයි.
සියල්ලටම එකසේ සළකා ඇත. මෙය ඉතා දුෂ්කර කටයුත්තකි. භාරතීය සමාජය කුලභේද ආදියෙන් පිරී පැවති අවදියක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම ශාසනයට ශ්‍රාවකයන් ඇතුළත් කරගැනීමේදී එවකට කුල භේද බලවත් සේ පැවැතී භාරතයේ සතර කුලයේම පිරිස් ඇතුළත් කර ගැනීම තුළත් සුදුස්සන්ම තෝරා දක්‍ෂතාවටම අනුව තනතුරු ප්‍රදානය කිරීම තුළත් දක්නට ඇත්තේ බුදුරජාණන් වහන්සේ ගේ සමානාත්ම ගුණයයි.
තවද තම පුත් රාහුල කුමාරයා හටත් තමා මැරීමට ආ අංගුලිමාල දේවදත්ත නාලාගිරි ඇතාහටත් සෑම අවස්ථාවකම සම මෙත පැතිරීමද සමානාත්මතා ගුණය ප්‍රකට කරන අවස්ථාවේ. ගංගා, යමුනා, අචිරවතී ආදී සිවු මහා ගංගාවෝ මුහුදට වැටී එකම ලුණු රසයෙන් යුක්ත වන්නා සේ සියලු කුලයන්ගෙන් සසුන්ගත වූවෝ එකම ශ්‍රාවක පිරිසක් වශයෙන් සළකා කටයුතු කර ඇත. පරාභව සූත්‍රයේ සඳහන් පිරිහීමේ කරුණු අතර බොහෝ වස්තු ඇති මසු කහවනු ඇති අය නොයෙක් රසයෙන් යුක්ත ආහාරපාන තනිවම සඟවාගෙන තනියම පරිභෝග කරන්නේ නම්, එය පිරිහීමේ කරුණු අතර එකකි. තම සම්පත් ආහාරපාන සුදුසු පරිදි බෙදා හදාගෙන පරිභෝජනය කරන්නේ නම් එහි සමානාත්මතාවය සුරැකෙයි. එසේ නොවන තැන පුද්ගල හා ආයතන පිරිහීම, ගැටුම් කළකෝළාහල ඇති වීම වැළැක්විය නොහැකි වෙයි.
එසේම තමා උසස් කොට අන්‍යයන් පහත් කර සළකන කල්හි ද සමාජයේ භේදයක් ඇතිවෙයි. කුලය, නිලය, ධනය ආදී සලකා කටයුතු කිරීම පිරිහීමට හේතු වන්නේ ය. එහි විශ්වාසය, පිළිගැනීම දුරස්ථ වෙයි. පුද්ගලයන් හා ආයතන ද එනිසා පිරිහීම නොවැළැක්විය හැකි ය.
ඉහත දැක් වූ සංග්‍රහ වස්තු මගින් නිවස තුළ ආයතනය තුළ කාර්යාලයේ, වැඩපොළෙහි යම් පමණකට හෝ සැමට සාධාරණ ආකාරයෙන් සංග්‍රහ කිරීම සිදුවන්නේ නම් එම නිවස ආයතනාදිය තුළ පි‍්‍රය ජනක විශ්වාසවත් බව ගොඩනඟාගත් පිරිසක් බිහිවෙයි. කරත්තයට ‘කඩ ඇණය’ නිසා නොනැවතී ගමන් කරන්නට ලැබෙන ශක්තිය බලය යම්සේද, සමාජයට අසමඟිය, වෛරය, ක්‍රෝධය පළිගැනීම් වලින් තොරව විශ්වාසය ගොඩනඟා යහපත් ලෙස පැවතීමට මෙම සිව් සඟරාවත උපකාර වෙයි.