අපාය සහ දිව්‍ය ලෝකය ඒ හැටියෙන්ම දැක බලා ගන්නට අවස්ථාව

කරන ලද කුසල කර්මානුරූපව උතුම් වූ මනුෂ්‍යත්වයක් ලැබූවකු හට සිය ජීවිත කාලය තුළ දී අපාය සහ දිව්‍ය ලෝකය ඒ හැටියෙන්ම දැක බලා ගන්නට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. කලාතුරකින් වුවද ලැබෙන ඒ අවස්ථාව ලබන්නට තරම් පින් කළ කෙනෙකි වේදේහ රට මියුලු නුවර නිමි රජ. එක් කාලයකදී වේදේහ රටෙහි මියුලු නුවර මඛාදේව රජු රජකම් කරන ලද්දේ ය. බොහෝ කලක් රජ සැප විඳි රජු දිනක් තම කරණවෑමියාට කතා කොට යම් දවසක තම හිසෙහි සුදු පැහැ කෙස් ගසක් දුටු කළ එය තමනට දන්වන ලෙසද අණ කළේ ය. කලක් ගත විය. දිනක් රජු ගේ හිසෙහි සුදු පැහැ කෙස් ගසක් දුටු කරණවෑමියා ඒ බව රජුට දැන්වූයෙන්, රජු සිය වැඩිමල් පුතුට රාජ්‍යය පවරා මුවදෙව් නම් උයනේදී පැවිදි වෙස් ගෙන ධ්‍යාන ලබා බඹලොව උපත ලැබීය. ඉන් පසු මඛාදේව රජුගේ පුතුන් දෙදෙනාද බොහෝ රජසිරි විඳ හිසෙහි පැසුණු කෙස් මතු වූ විට රජ සැප හැර දා පැවිදිව ධ්‍යාන ලබා බඹලොව ඉපදුණි.
      
           දිනක් මඛාදේව රජු බඹලොව සිට මනුලොව බලන්නේ තම පැවිදි වංශය රැක ගැනීමට කෙනෙකු නොමැති බැව් දැන බඹලොවින් චුත වී මියුලු නුවර මහ රජුට දාව අග මෙහෙසිය කුසින් මෙලොව එළිය දුටුවේය. නිමි රජ්ජුරුවෝ ලෙස නම් කරන ලද්දේ එසේ උපන් මඛාදේව රජුමය. නිමි රජ කුඩා කල සිටං පිනට දහමට ලැදිය. නිරතුරවම පෙහෙවස් රකිමින් කුසල් දම්හි යෙදෙන්නේය. නුවර සතර වාහල්කඩ දන්සල් කරවා නිති දන් දෙන්නේය. රජුගේ අවවාද අනුශාසනා වලින් යහමඟ ගිය බොහෝ මනුෂ්‍යයෝ දාන, ශීලාදී උතුම් පින්කම් කොට දිව්‍ය ලෝකයෙහි උපදින්නේ, නරකාදිය හිස් වන්නට විය. නිමි රජුගේ නාමයද දසත පතළ වන්නට විය. මෙසේ කල් ගත වෙද්දී පසළොස්වක දිනය උදා විය. නිමි රජ පෙහෙවස් සමාදන්ව දාන ශීලාදී පින්කම් කොට සිත් සමාධියෙන් සැතපී හිඳින විට සිතෙහි එක්තරා සැකයක් හට ගත්තේය. මම නිරතුරවම මහජනයා උදෙසා දන් දෙමි. එමෙන්ම දිවි හිමියෙන් පන්සිල් සුරකිමි. එහෙත් මේ දාන ශීල යන පින්කම් දෙකින් කවරක් උසස් වෙත්ද?’ යනුවෙන් ඇති වූ සැකය නිසා නිදි නොලබාම චිත්ත සන්තාපයෙන් කල් ඇරියේය. 
            
          මේ වේලෙහි නිමි රජුගේ ශීලානුභාවයෙන් සක් දෙවිඳුන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු විය. එවිට සක් දෙවිඳු ලොව බලන්නේ නිමි රජු සිත තුළ ඇති වූ සැකය දැක එය විසඳාලන්නෙමියි සිතා ශක්‍ර භවනයෙන්, නිමි රජ මාළිඟයේ ශ්‍රී යහන් ගබඩාවට පැමිණියේ ය. නිමි රජු ඒ සක් දෙවිඳු යැයි නොදැන “තොප කවරෙක්ද? දෙවියෙක්ද, ගන්ධර්වයෙක්ද?’ මහරජ සක් දෙවිඳු නම් මම වෙමි. තොප සිතෙහි උපන් සැකය දුරුකරලීම පිණිස මෙහි පැමිණියෙමි. නිමි රජ තම සිතෙහි උපන් සැකය එනම් දානයද ශීලයද වඩා උතුම් යනුවෙන් ශක්‍රයා විමසීය. එවිට සක් දෙවිඳු නොයෙක් උපහැරණ ගෙන දක්වමින් දානයට වඩා ශීලය උතුම් බව පවසා රජු සිතෙහි සැකය දුරුකොට ආපසු ශක්‍ර භවනයටම ගියේය. 
              
     මෙසේ පැමිණි සක් දෙවිඳු දුටු අනෙකුත් දෙවිවරු සක් දෙවිඳුගේ ගමන ගැන විමසුහ. ‘මම මියුලු නුවර නිමි රජුගේ සිතෙහි ඇති වූ සැකයක් විසඳීම පිණිස ගියෙමි’ ‘සක් දෙවිඳුනි, නිමි රජු අපෙගේත් ගුරුවරයාය. එසේ හෙයින් ඔහුගෙන් බණ අසන්නට අපිත් යන්නෙමු. ‘තොප යා යුතු නැත. නිමි රජු මෙහි ගෙන්වාගෙන බණ අසන්නට සලස්වමි’ යි පැවසූ සක් දෙවිඳු මාතලී දෙව් පුත් කැඳවා නිමි රජ කැඳවාගෙන එන්නට අණ කළේය. නිමි රජුද මියුලු නුවර වාසීනට අවවාද කොට මාතලී දෙව් පුත් සමඟ ශක්‍ර භවනයට යන ගමනේදී මාතලී දෙව්පුත් මෙසේ අසයි. ‘පින්වත් රජතුමාණෙනි, යන ගමනේදී පින් කළ වුන් වෙසෙන දෙව්ලොවට හෝ පව් කළ වුන් රැඳෙන අපායට යා හැකිය. පළමුව යන්නේ කොතැනටද? පළමුව නරකය දකින්නට කැමති යයි රජු ප්‍රකාශ කළෙන් තමන් ජීවත්ව සිටියදී නරකයට ගොස් පව්කම් වල විපාක දකින්නට නිමි රජට වාසනාව අත්විය. මාතලී දෙව් පුතු නරකය කරා රථය පදවන්නට විය. පළමුව පැදවූයේ චෙතරණී නම් නරකයටයි. දිගින් පළලින් හා ගැඹුරින් සැට යොදුනක් බැගින්වූ එහි ගිනිගෙන දැවෙන ලෝ දිය පිරී පවතී. අකුසල් කළවුන්ගේ ඇට නහර බිඳී යන ගිනිගෙන දැවෙන මුවහත් පියන්පතින් ඔවුනගේ ඇට නහර ම සිඳී යති. පාපය මහත් හෙයින් යළි යළි ඉපිද ලෝදියෙහි පැසෙති. නිමි රජු ඒ දැක තැතිගන්නවා දුටු මාතලි දෙව් පුතු මෙසේ කීය. ‘මහරජ මොවුන් මිනිස් ලොව සිටියදී දාගැබ්, පිළිම, විහාර කඩා බිඳ දැමීමේ පවින්ද, කිසිදු මහන්සියකින් තොරව අසරණයින්ගෙන් බදු අයකළ පවින්ද මෙසේ චෙතරණි නරකයෙහි දුක් විඳිති. 
               
             ඉන්පසු රථය පැදවූයේ දිගින්, පළලින් හා ගැඹුරින් පනස් යොදුන බැගින් වූ ඔසුපත් නරකය වෙතය. එහි ඉතා විශාල ශරීර ඇති විසකුරු සතුන් විසින් වටකර ඇට නගර බිඳින ලද පව්කාර සත්ත්වයෝ නැවත ඉපිදෙමින් එසේම දුක් විඳිති. මාතලි දෙව්පුත් කියන්නේ… “මොවුන් මිනිස් ලොව ඉපිද සිටි කාලයෙහි සෙනසුන්, දාගැබ්, අම්බලම් හා ඒ දඬු පාලම් බඳින්නට යැයි කියා මිනිසුන් රවටා මුදල් ඉල්ලාගෙන පොරොන්දු වූ ලෙස ඒවා ඉදි නොකොට ඒ මුදලින් තම බඩවියත සරිකළවුන්ය’. එසේ පැවසූ මාතලී දෙව්පුතු නිමි රජු කැඳවාගෙන දිග, පළල හා ගැඹුර දහසක් යොදුන බැගින්වූ ලෝකුඹු නිරයට රථය ගෙන ගියේය. මුවවිට දක්වා පිරී පැසෙනා ලෝදියෙහි පැසෙමින් යළි යළි ඉපිද දුක්විඳින සත්ත්වයින් පෙන්නා මාතලී දෙව්පුත් කියන්නේ “මහරජය…. මොවුන් මිනිස් ලොවදී කුකුළන් ඇතුළු නොයෙක් සතුන් හදාවඩා හෝ වනයට ගොසින් මරා මස් කා සුරාපානය කරමින් පී‍්‍රති වූවෝ වෙති.’
               
         එසේ පැවසූ මාතලී දෙව්පුත් ලෝකුඹු නිරයෙන් නික්මී සීත නම් නරකය වෙත නිමි රජු රැගෙන ගියේය. යොදුන් තුන්සියයක් බැගින් වූ දිග පළල හා ගැඹුරින් යුත් වූ සීත නරකයේ දරාගත නොහී සීතයෙන් උඩු යටිකුරුව ඇට නහර සුන්ව නැවත නැවත ඉපදෙමින් විපාක විඳිනවුන් නිමි රජුට පෙන් වූ දෙව් පුතු “මොවුන් මිනිස් ලොවදී දානයෙන්, ධර්මයෙන් ජීවිකාව ගෙනයන්නවුන් නසා, අනුන්ගේ දේ බලෙන් ගත්තවුන් හා ගෙවලට වැද සොරකම් කළවුන් වන්නේය…’ පවසා නිමි රජු සමඟ දිග, පළල හා ගැඹුර සත්සියයක් යොදුන බැගින්වූ සංඝාත නම් නරකය වෙත ගියේය. එහි මුවවිට දක්වා පිරුණු වතුරේ විශාල ශරීර ඇති පණුවෝ පව්කම් කළවුන්ගේ ඇඟ මස් උදුරා කා ඇට නහර බිඳී. මෙසේ නොනැවතී දුක් විඳින සත්ත්වයින් පෙන් වූ මාතලී දෙව්පුත් “ මහරජ මොවුන් මිනිස් ලොවදී බොරු වළවල් කපා, ඒ මත උල සිටුවා, මලපුඩු අටවා සතුන් මරා මස් කළවුන්, හා දාගැබ් පිළිම නොවැද, බණ නොඅසා, යමක් සිඟා ආ වුන්ට කිසිත් නොදී පව්කම් කළෝ වෙති. ඉන්පසු ගියේ යොදුන් නවසීයක් දිග, පළල හා ගැඹුරැති තාප නම් නරකය වෙතය. මෙහි තඹ වැනි දියෙන් නැගෙන ගිනි මත, යොදුනක් පමණ උස සත්ත්වයෝ සතරගාත් එක්කොට බැඳ පැසෙමින් සිටිති. ඔවුන් පෙන්වා දෙව්පුතු මෙසේ කීවේය. ‘මොවුන් මිනිසුන්ව සිටි කල කුරුල්ලන් වැනි සත්ත්වයින් මරා උකුණන් හා මකුණන් මරා හා මකුණනට උණුදිය වත්කොට මරා දැමුවෝ වෙති. ඉන්පසු ඔවුන් ගියේ යොදුන් පනහක් දිග, පළල හා ගැඹුර ඇති අඟුරුමැල නම් නිරය වෙතය. මෙහි ගිනිගෙන දිළිසෙන අඟුරු අතර පිච්චෙමින් මහ හඩින් හඬමින් ගිනියම් අඟුරු දෝතින් තමන්ගේ ශරීරයට ඉස ගනිමින් නිරතුරු දැවෙන සත්ත්වයින් නිමි රජුහට පෙන් වූ මාතලී දෙව් පුතු” මහරජ මොවුන් මිනිසුන්ව සිටි කළ සතුන්මරා මස් පුළුස්සා කෑ අය හා ඒ මස් ගෙනගොස් උයා මස් ඉතා රසයි යනුවෙන් කියා කෑ අය හා නොයෙක් සතුන් දුටු විට උන්ගේ ඇගේ තෙල් බොහෝ ඇත යනුවෙන් කියූවෝ වෙති. මාතලී දෙව්පුතු නිමි රජු කැඳවාගෙන එතැනින් ගියේ යොදුන් තුන් සියයක් දිග, පළල හා ගැඹුරින් යුතු දළකෙස්මැලි නම් නරකය වෙතය. ඉතා විශාල ශරීර ඇති කවුඩන් හා උකුස්සන් එහි වෙසෙන පව්කම් කළවුන්ගේ ඇස් උදුරාගෙන, බඩවැල් ඇද කති. නමුත් කර්ම බලයෙන් නැවත එහිම ඉපිද පෙරසේම දුක් විඳිති. දිව්‍ය පුත්‍රයා නිමි රජුට මෙසේ කීවේය. ‘මහරජ මොවුන් මිනිසුන් කළ මහත් ධනයක් තිබුණද සුළුවෙන් දන් දී අධර්මයෙන් වෙළදාම් කළවුන් හා වී සමඟ බොල් මිශ්‍ර කොට දුන්නවුන් හා කුඩා ලාහකින් දී මහා ලාහකින් ආපසු ගත්තවුන් සේම නොදෙන දෙයක් දෙන්නම් කියා රවටාලූවන් ද වෙති. ඉන්පසු ඔවුන් දෙදෙන ගියේ පොකුරුපත් නම් නිරය වෙතය. දිග, පළල හා ගැඹුර යොදුන් හාරසීයක් වූ එහි ඉතා විශාල ශරීර ඇති කිනිතුල්ලෝ රුදුරු වේශයෙන් අකුසල් කළවුන්ගේ ඇට නහර බිඳ කති. මෙසේ දුක් විඳිනා සත්ත්වයෝ පෙන්වා මාතලී දෙව්පුත් කියන්නේ “මොවුන් මිනිස් ලොව සිටි කළ සංඝයා වහන්සේට හා සිල්වතුන්ට අපහාස කළෝය. සංඝයා වහන්සේ ඔවුනොවුන් කෙරෙහි බිඳ වූවෝ ය. මව්පියන්, නැදිමයිලන් හා වැඩිහිටියන් දැක අසුනින් නොනැගිටම ඔවුන් හා තර්ක විතර්ක කළෝය. මේ උන් පැසෙන නරකයයි.

       එතැනින් නික්මී දිග, පළල හා ගැඹුර පනස් යොදුනක් පමණ වූ වෙරළ නම් නිරයට රථය ගෙන ගියේය. එහි වෙසෙන විශාල ශරීර හා කුරිරු දළ ඇති බල්ලෝ අකුසල් කළවුන් අල්ලා මස් ඉරා කා ඇට නහර බිඳිති. එහෙත් අකුසල් මහත් හෙයින් එහිම නැවත නැවත ඉපදී විපාක විඳිති. ඔවුන් පෙන්වා මාතලී දෙව්පුත් කියන්නේ, “මහරජ, මොවුන් මිනිසුන් ලෙස සිටි කළ දඩයම් පිණිස බල්ලන් පුරුදු කර උන් ලවා ගෝණුන්, හාවන් වැනි සතුන් මැරවූවන් හා අතංගු හා බිලීකටු වැනි දේ වලින් කුඩා මසුන් ඇල්ලූවන් වෙති. එම නිරය දැක බලාගත් නිමි රජුත්, මාතලීත් ඊළඟට ගියේ අළුකුඹු නම් නරකය වෙතය. දිග, පළල හා ගැඹුර පනස් යොදුන බැගින් වූ එහි මුව විට දක්වා ගිනිගෙන දැවෙන අළු පිරී ඇත. අකුසල් කළවුන් මේ අළුවල දැවීදැවී පතුලේ සිට උඩටත් උඩසිට පතුලටත් යති. එහිම මියගොස් යළිත් එහිම උපදී විපාක විඳිති. ඔවුන් පෙන්වා දෙව්පුත් කියන්නේ් ‘’මහරජ බෙහෙත් බී දරු ගැබ නැසුවෝද ඒ දරු ගැබ නසන්නට බෙහෙත් දුන්නෝද ඔසප් වූ බව දැනගෙනම එම දිනවල කම්සුව විඳි ගැහැණුන් හා මිනිසුන්ද පෝය දිනවල තොටුපලවල හා කම්හල් වල වැඩ කළවුන්ද පැසෙන නරකය මෙයයි. 
               
           ඉන්පසු ඔවුන් දෙදෙන දිග, පළල හා ගැඹුර සැට යොදුන බැගින් වූ ඉඹුල්වන නම් නිරයට ගියෝය. එහි ඉඹුල් ගස්වල එක් පැත්තක ගිනිගෙන දැවෙන උඩට හැරවූ උල් කටුත් අනෙක් පස එවැනිම වූ පහතට හැර වූ කටුත් ඇත. අකුසල් කළ ගැහැණියකට හිස සිට පය දක්වා ගිනියම් වූ ආභරණ පළන්ඳන යමපල්ලෝ ඔවුන් අත ඇති යගදාවෙන් පහර පන්සීයක් ගසා ඉඹුල් ගසට නංවති. එහි කටු ඇනී ලෙයින් තෙත්ව හඬ හඬා බසින අතරේ ඇයට පෙම්බැඳි පුරුෂයාටද එසේම කරති. දෙදෙනාම ගව්වක් උස් වූ ඉඹුල් ගසේ නගිමින් බසිමින් මියයමින් උපදිමින් විපාක විඳිති. ඒ දැක තැතිගත් නිමි රජු දුටු මාතලී දෙව්පුත් කියන්නේ “ මහරජ… මොවුන් මිනිසුන්ව සිටි කළ තම තමන්ගේ් බිරින්දන් හා ස්වාමිපුරුෂයින් රවටමින් පර අඹ හා පරපුරුෂ සේවනයෙහි යෙදුනවුන්යැයි පහදා දුනි. මොවුන් මෙසේ විපාක විඳ නරකයෙන් ගොඩ වුවද පන්සියයක් ජාති නපුංසකව උපදින බවද කීය. එතැනින් නික්මී නිමි රජු රැගත් රථය පැමිණියේ දිග, පළල හා ගැඹුර, සත්සියයක් යොදුන බැගින්වූ කිහිරිඟුරු නම් නරකය වෙතය. මෙහි යොදුනක් උසැති සූක්ෂම උල් කටු ඇනි ඇනී ගින්නෙන් දැවි දැවී ගිනිගෙන දැවෙන වියදඬු හා නඟුල් ඉස තබාගෙන සමහරු පැසෙති. ගිනිගත් රුකක් ඉස තබා ගත්තවුන්ද මහ හඬින් හඬමින් දිව දෙතුන් විටක් ඇඳ ගත්තවුන්ද, ගිනිගත් යකඩ කඳක් හිස තබාගත්තවුන්ද පෙන් වූ මාතලී දෙව්පුත් “මහරජ මොවුන් මිනිස් ලොව සිටියදී දිව ඇද කා සිය පණ නසාගත්තවුන්ද, වස විෂ කා පණ හානිකර ගත්තවුන්ද, ගෙල වැලලාගෙන මියැදුනවුන්ද එසේම අවේලාවේ කුඹුරුවල සීසෑ වුන්ද වෙති’ යි පැවසීය. 
                     
          එම නිරය දැක ඔවුන් ගියේ රෞරව නම් මහ නිරය වෙතය. දිග පළල හා ගැඹුර දහසක් යොදුන බැගින් වූ එහි යමපල්ලෝ පව්කළවුන් අල්වා හිස සිට දෙපතුල දක්වා හම ගසති. පොරොවෙන් ඉරති. පලති. මියගියත් නැවත එහිම ඉපදී විපාක විඳිති. මොවුන් නම් රජුට පෙන් වූ දෙවිපුතු “මහරජ මොවුන් මිනිස් ලොව සිටියදී සිත්තරුන්ව සිට මුදල් සොයනු පිණිස හොඳට තිබූ පිළිම විනාශ කොට ඉන්පසු ඒවා හොඳින් පිළියම් නොකොට ගාස්තු අයකළ වුන්ය. පෙති පිළිම විකුණා කෑවුන්ය. අනුන්ගේ රන්, රිදී, මුදල්, වී, හාල්, ගව, කුකුළු ආදීන් සොරාගෙන කෑවුන්ය. දන් දෙන්නට යයි බොරු කියා අනුන්ගෙන් ඉල්ලාගෙන කෑ වුන්ය’ යැයි පැවසීය. ඉන්පසු ඔවුන් දෙදෙන ගියේ දිග, පළල හා ගැඹුර දහසක් යොදුන බැගින් වූ පදුම නම් නරකය වෙතය. ගින්නෙන් පැසී කැකෑරෙන තඹ දිය මත අතුරු සිදුරු නැතිව පිරුණු විශාල ශරීර ඇති කෘමි සතුන් ව ඉපදුනු අකුසල් කළවුන් උනුන්ම වටලා පහර දී මස් ඇද, ඇට නහර බිඳ කති. මියගොස් නැවත ඉපදී විපාක විඳිති. මොවුන් පෙන් වූ මාතලී දෙවිපුතු “මහරජ මොවුන් මිනිසුන්ව සිටියදී, කකුළුවන් බෙල්ලන් වැනි සතුන් අල්ලා මැරුවෝ වෙති. වනයේ වසන සතුනට වස දී මැරුවෝ වෙති. කේලාම් කියා ඔවුනොවුන් බිඳලූවෝ වෙති’ යනුවෙන් පැවසීය. මෙසේ ශක්‍රයාගේ ආරාධනයෙන් දෙව්ලාවට යන අතරතුරදී එකසිය තිස් හතක් වූ නිරයන්ගෙන් කිහිපයක් බලාගන්නට නිමි රජුට හැකි වූ බවත්, ඉන්පසු ඔහු දිව්‍ය ලෝකය නරඹන්නට ගිය බවත් එසේ නිමි රජව උපන්නේ ගෞතම සම්බුදු රජාණන් වහන්සේ බවත් නිමි ජාතකයේ සඳහන්ව ඇත.