ආර්යකාන්ත ශීලය පිළිබඳ අචල ශ‍්‍රද්ධාව


අංගුත්තර නිකායේ නවක නිපාතයේ ඇති, අනේපිඩු සිටු අමතා දෙසන ලද පඨමවෙරභය සූත‍්‍රයේ දී බුදුපියාණන් වහන්සේ “ආර්ය ශ‍්‍රාවකයා සතර සෝතාපත්ති අංගයන්ගෙන් සමන්විත යැ’යි පවසති. එම සෝතාපත්ති අංග සතරින් සිවුවැන්න මෙසේ විස්තර කෙරේ.

“අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති, අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ප්පසෙත්‍ථහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි.” නො කැඩුණු, නො සිදුරුවුණු, කබරපැහැ නොගත්, ලප නැති, නිදහස්, නුවණැත්තන් විසින් පසසන ලද, තණ්හා දෘෂ්ටි දෙකින් පරාමර්ශනය නොකරගත්, සමාධි සංවර්තනික ආර්යයන්ට පි‍්‍රය ශීලයෙන් යුක්ත වෙයි.

දිනක් එක්තරා දෙවියෙක් බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ, මේ ලෝක ප‍්‍රජාව අභ්‍යන්තරික හා බාහිර ගැටලුවලින් වෙලී පැටලී සිටින බව පවසා “කවරෙක් නම් මේ ගැටලු විසඳ්‍රගන්නේ ද?” යි ප‍්‍රශ්න කෙළේ ය. එම පැනයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ “ති‍්‍රහේතුක ප‍්‍රතිසන්‍ධියකින් උපන් නුවණැති මිනිසා සීලයෙහි පිහිටා (සීලෙ පතිට්ඨාය) චිත්ත සමාධිය ද විදර්ශනා ප‍්‍රඥාව ද වඩන්නේ ය. (චිත්තං පඤ්ඤං ච භාවයං) කෙලෙස්තවන වීර්ය ඇති පාරිහාරිය ප‍්‍රඥාවන්තයා (වූ භික්‍ෂුව) ම එම ගැටලු නිරවුල් කරගන්නේ ය” යනුවෙන් පැවසූහ. (සංයුක්ත නිකාය - දේවතා සංයුක්තය)

මෙසේ පැවසෙන බෞද්ධ අනුපූර්ව ප‍්‍රතිපදාවෙහි පළමු පියවර සීලයයි. සීල - සමාධි – ප‍්‍රඥා යන ආර්යමාර්ග ශික්‍ෂණයෙහි අඩිතාලම වන සීලය විවිධාකාරයෙන් වර්ගීකරණය කරනු ලැබේ. විසුද්ධි මාර්ගයේ සීල නිද්දේසය කියවීමෙන් සීලයේ ඇති විවිධ ප‍්‍රභේද වටහාගත හැකිය. එහි නො සඳහන් වන නමුත් සූත‍්‍ර ධර්මවල වෙසෙසින් වර්ණනා කෙරෙන සීලයකි “අරියකන්ත සීලය.”

අරියකන්ත (ආර්යකාන්ත) ශීලය නම් ආර්යයන්ට ම රුචි වූ ශීලයයි. එනම් පංචසීලය යි. “පඤ්චසීලං හි අරියානං කන්තත්තා පියත්තා අරියධම්මො නාම. භවන්තරගතා’පි අරියා තං න විජහන්ති.” පංචසීලය වනාහි ආර්යයන්ට කාන්ත වූ බැවින්, පි‍්‍රයමනාප වූ බැවින් ‘ආර්යධර්ම’ නම් වේ. භවාන්තර ගතවූවාහු (වෙනත් භවයක උපත ලැබූ) නමුත් ඔවුහු එය අත්නොහරිති.

මෙහිදී පළමුවෙන් ම ආර්ය ශ‍්‍රාවකයා හෙවත් ආර්යයා යනු කවරෙක්දැයි වටහාගැනීම අවශ්‍ය වේ.ධර්මයට අනුව ආර්ය යන්නෙහි ශ්‍රේෂ්ඨයා, උත්තමයා යන අර්ථ ගැබ් වී ඇත. “කිලෙසාරයො හන්තීත්‍යරහා. අරහා එව අරියො.” යන විවරණයට අනුව කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වූ රහත් පුද්ගලයා ම ආර්ය නම් වේ. “අරියා වුච්චන්ති බුද්ධා ච පච්චෙක බුද්ධා ච බුද්ධ සාවකා ච.” මෙම විග‍්‍රහයට අනුව බුදුවරු ද පසේබුදුවරු ද බුද්ධ ශ‍්‍රාවකයෝ ද ආර්යයෝ යැයි කියනු ලැබෙති. තවත් විටෙක ධර්ම ග‍්‍රන්‍ථවල ආර්යයෝ සිවු කොටසක් ලෙස දක්වා ඇත.

1. ආචාර අරිය – මිනිසෙක් හෝ තිරිසනෙක් හෝ නොකළයුතු අනාචාරයන් නොකර දුරු කිරීමෙන් ද කළයුතු වූ නිරවද්‍ය ආචාරයන් (උචිත ශිෂ්ට දේ පමණක්) සිදුකිරීමෙන් ද සදාචාර ගුණයෙහි පිහිටියේ නම් හේ ආචාර අරිය නම්.

2. දස්සන අරිය – ප‍්‍රසාද ජනක, දර්ශනීය, පියකරු වූ රූපයෙන් හා ප‍්‍රසාද එළවන ඉරියව්වෙන් යුක්ත පුද්ගලයා දස්සන අරිය නම් වේ.

3. ලිංග අරිය – පාසිවුරු දැරීම, හිස මුඬු කිරීම ආදී ආකල්ප සණ්ඨාණයන්ගෙන් පමණක් ආර්ය පුද්ගලයන් හා සමාන වූ දුස්සීල, අලජ්ජි පුද්ගලයා ලිංග අරිය නම් වේ.

4. පටිවේධ අරිය - සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණියා වූ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ (ප‍්‍රතිවේධ) කළ බුදු, පසේබුදු, මහරහතුන් වහන්සේලා පටිවේධ අරිය නම් වේ.

‘අරිය සාවකා’ යන පාලි වචනයට අදාළ වූ ආර්ය ශ‍්‍රාවකයෝ ලෙස අප මෙහිදී ගතයුතු වන්නේ සිවුවැනිව දැක්වූ පටිවේධ අරිය පුද්ගලයෝ ම ය. බොහෝ සූත‍්‍ර ධර්මවල “අරිය සාවකො” යන යෙදුමෙන් අර්ථවත් කරනුයේ සෝවාන් මඟට පිළිපන් පුද්ගලයා ය. සංගීති සූත‍්‍රයේ කියැවෙන පරිදි සෝවාන්වූවහුගේ අංග සතරින් (චත්තාරි සොතාපන්නස්ස අංගානි) සිවුවැන්න නම් අචල වූ (නොසෙල්වෙන) ආර්යකාන්ත ශීලයෙන් යුක්තවීමයි. ගිහි පැවිදි භේදයක් නැතිව සෝවාන් ආදී මාර්ග සතරට හා ඵල සතරට පැමිණි සේඛ – අසේඛ පුද්ගල දෙවර්ගය ම ආර්ය ශ‍්‍රාවක නාමයට අයත් වේ. එම උතුම් පුද්ගලයන් අටදෙනාගේ (අට්ඨපුරිස පුග්ගලා) පි‍්‍රයභාවයට, කැමතිභාවයට ගියා වූ ශීලය ම මෙහිදී ආර්යකාන්ත ශීලය ලෙස හැඳින්වේ.

දැන් එකී ආර්යකාන්ත ශීලය යනු කුමක්දැයි විමසා බලමු. ඉහතින් ද දැක්වූ පරිදි එම අරියකාන්ත ශීලය නම් පංචසීලය යි. ඒ පිළිබඳව තවදුරටත් විමසා බැලීමේ දී පහත එන විග‍්‍රහය අපට වැදගත් වේ.

“අරියකන්තසීලානි නාම පඤ්චසීලානි, තානි හි භවන්තර ගතොපි අරියසාවකො අත්තනො අරියසාවකභාවං අජානන්තොපි න වීතික්කමති. සචෙපි හි තං කොචි වදෙය්‍ය ඉමං කසල චක්කවත්තිරජ්ජං පටිච්ජිවා බුද්දකමක්ඛිකං ජීවිතං වොරොපෙහීති, අට්ඨානමෙතං යං සො තස්ස වචනං කරෙය්‍ය.”

ආර්යකාන්ත සීල නම් පංචසීලය යි. අන්‍යභවයකට ගියාවූද ආර්ය ශ‍්‍රාවකයා තමා පෙර අත්බව ආර්යශ‍්‍රාවකයකුව සිටි බව නොදන්නේ නමුදු, ඒ ශීලය (පංචසීලය) නො ඉක්මවයි. ඉදින් ඔහුට යම් කිසිවෙකු “මේ මුළු සක්විති රාජ්‍යය ම පිළිගෙන එක් කුඩා මැස්සකුගේ දිවි තොරකරව“ යි කියා නම් එම වචනය ඉටුකරගන්නේ ය යන මේ කාරණය හේතු රහිත ය. (කෙදිනකවත් සිදු නොවන්නේ ය.) හෙවත් අරියකාන්ත සීලය පිළිබඳ අචල (නොසැලෙන) ශ‍්‍රද්ධාවෙන් යුතු පුද්ගලයා උපරිම කාමසම්පත් විඳීමට වාසනාව තිබුණත් ඒ හේතුවෙන් කිසිසේත් ම තම සීලය කඩ නොකරන්නේ ය.

දිවිගිය ද ආර්ය ශ‍්‍රාවකයා පන්සිල් නොකඩන බවත් හෙතෙම ආර්යභාවයට පත්වූ දින සිට (හෙවත් සෝවාන් මඟට පිළිපන් දා සිට) අනූපදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවනට පත්වන තුරු ම කෙදිනකවත් ප‍්‍රාණඝාතාදියක් නොකරන බවත් මෙම ප‍්‍රකාශනයේ අදහසයි. රතන සූත‍්‍රයේ ගාථා රැසකින් සෝවාන් වූ පුද්ගලයාගේ ගුණ වර්ණනා කෙරේ.

සතර අපායෙහි නොවැටීමත් - සයවැදෑරුම් බරපතල පාප කර්මයන් කරන්නට නුසුදුස්සෙක් වීමත් (චතූහපායෙහි ච විප්පමුත්තො - ඡ චාභිඨානානි අභබ්බො කාතුං) සෝවාන් වූවහුගේ ගුණාංගයෝ ය.

මෙහි ඔහු නොකරන “සයවැදෑරුම් බරපතල පාප කර්ම” නම් ආනන්තරීය පාපකර්ම පස (5) සහ තථාගතයන් වහන්සේ හැර වෙනත් කිසිඳු ශාස්තෘවරයෙකු නොපිළිගැනීමයි. හෙවත් මිසදිටු පවුලක ඉපදුනත් ස්වභාවයෙන් ම බුදුසරණ ගිය ශ‍්‍රාවකයකු වන බවයි.

සංයුක්ත නිකායේ චක්ඛු සූත‍්‍රයේ දී යම් පාප කර්මයක් කිරීමෙන් නිරයේ හෝ තිරිසන් භවයේ හෝ පේ‍්‍රත භවයේ හෝ උපදිත් ද එබඳු පාපකර්ම සෝවාන් පුද්ගලයා විසින් නොකරන’ බව කියැවේ. එනිසා ආර්ය ශ‍්‍රාවකයා නරක – තිරිසන් - පේ‍්‍රත – අසුර යන සිවු අපායෙහි නූපදින්නේ ම ය. එවැනි ආනිසංසයක් ආර්යමාර්ගයට පිවිසි පළමු පියවරේ දී ම ලැබෙනුයේ ඔහු දිවිහිමියෙන් ආර්යකාන්ත ශීලය ආරක්‍ෂා කරන බැවිනි.

කිසිඳු හේතුවකින් ති‍්‍රවිධ රත්නය කෙරෙහි විපරිත සිත් ඇති බවට (අඤ්ඤථත්තං), දොම්නස් බවකට (දොමනස්සං) නොපැමිණෙන ඝටීකාර කුම්භකාරතෙමේ ද ආර්යකාන්ත ශීලයෙන් යුක්ත බව වරක් කිකී නම් කසී රජුට කාශ්‍යප බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. (මජ්ම නිකාය II - ඝටීකාර සූත‍්‍රය – බු. ජ. ති‍්‍ර. – 412 පිටුව) එම ඝටීකාර සූත‍්‍රයෙහි ඝටීකාර උපාසකතුමාගේ සීලය මෙසේ දැක්වේ.

“ඝටීකාරො බො මහාරාජ, කුම්භකාරො පාණාතිපාතා පටිවිරතො, අදින්නාදානා පටිවිරතො, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමේරය මජ්ජපමාදට්ටානා පටිවිරතො.” – මහරජ, ඝටීකාර කුම්භකාරතෙම

1. පරපණ නැසීමෙන් තමන් ම වැලකුණේ වේ. අනුන් ද ඉන් වලක්වන්නේ වේ. නිතර අන්‍යයන්ට අභයදීමෙහි ගුණ කියන්නේ වේ.

2. නුදුන්දේ ගැනීමෙන් තමන් ම වැලකුණේ වේ. අනුන් ද ඉන් වලක්වන්නේ වේ. නිතර සොරකම් නොකිරීමෙහි ගුණ කියන්නේ වේ.

3. වැරදි ලෙස කම්සැප විඳීමෙන් තමන් ම වැලකුණේ වේ. අනුන් ද ඉන් වලක්වන්නේ වේ. නිතර ස්වදාර සන්තෝෂයෙහි ගුණ කියන්නේ වේ.

4. බොරු කීමෙන් තමන්ම වැලකුණේ වේ. අනුන් ද ඉන් වලක්වන්නේ වේ. නිතර සත්‍යවාදී වීමෙහි ගුණ කියන්නේ වේ.

5. මදයට හා පමාවට හේතුවන රහමෙර පානයෙන් තමන් ම වැලකුණේ වේ. අනුන් ද ඉන් වලක්වන්නේ වේ. නිතර සුරාවෙහි හා සූදුවෙහි අගුණ කියන්නේ වේ.

පංචසීලය බෞද්ධ ගිහි පින්වතුන්ගේ නිත්‍ය ශීලයයි. එමෙන්ම මුළු ලෝකයට එක ම පාලනයක් ගෙනයන සක්විති රජුගේ පාලන ප‍්‍රතිපත්තිය  පංචසීලය යි. එම සාමාන්‍ය පංචසීල සමාදානයෙන් සෝවාන් වූ ආර්ය ශ‍්‍රාවකයා සුරකින මෙම අරියකන්ත සීලය විශේෂවනුයේ එහි ඇති සුවිශේෂී අංග අටක් නිසයි. ආරම්භයේ දී නාමිකව දැක්වූ එම අංග අටෙහි විස්තරාර්ථ මෙසේ ය.

1. අඛණ්ඩ – තමන් රකින ශීලයෙහි මුලින් හෝ අඟින් සිකපද නොකැඩී ඇති බව

2. අච්ජිද්ද - ශීලයෙහි මැදින් සිකපද නොකැඩී ඇති බව

3. අසබල - ශීලයෙහි පිළිවෙලින් සිකපද දෙක තුනක් කැඩී නැති බව

4. අකම්මාස - ශීලයෙහි අතරින් පතර සිකපද නොකැඩී ඇති බව

5. භුජිස්ස - තණ්හාවට දාසයකු නොවී රක්නා සිල් ඇති බව

6. විඤ්ඤුප්පසත්‍ථ – බුද්ධාදී උතුමන් විසින් පසසන ලද සිල් ඇති බව

7. අපරාමට්ඨ – තණ්හාවෙන් හා මිසදිටු ලෙස දැඩිව අල්ලාගෙන රක්නා සිල් නැති බව

8. සමාධි සංවත්තනික – උපචාර සමාධි හා අර්පණා සමාධි ලැබීමට සුදුසු වූ සිල් ඇති බව

මුල් අංග සතරේ අදහස නම් කවරාකාරයකින්වත් නොකැඩුණු පිරිසිදු සීලයක් ඇති බවයි. සීලබ්බතපරමාස සංයෝජනයෙන් වියුක්තව පන්සිල් සුරැකීමත්, එම සීලයේ ඇති ආනිසංසයනුත් පසුව එන අංග සතරින් කියැවේ.

දුතිය පුඤ්ඤාභිසන්ද සූත‍්‍රයට අනුව ආර්ය ශ‍්‍රාවකයා අරියකන්ත ශීලයෙන් යුක්තවීමේ ආනිසංස රැසකි. සිවුවන පුණ්‍ය ප‍්‍රවාහය (පුඤ්ඤාභිසෙදා), කුසල ප‍්‍රවාහය (කුසලාභිසෙදා) ලෙස විග‍්‍රහ වන අරියකන්ත ශීලය සුරැකීම සුව එළවන්නකි. (සුඛස්සාහාරො) මනා වූ අග‍්‍ර වූ රූපාදී සම්පත් ගෙන දෙන්නකි. (සොවග්ගිකො) සැපවිපාක ඇති එය (සුඛ විපාකො) ස්වර්ග සම්පත් සාදාදෙන්නකි. (සග්ගසංවත්තනිකො) තවද එම ශීලය ඉෂ්ට බව පිණිස (ඉට්ඨාය), කාන්ත බව පිණිස (කන්තාය), මනවඩන බව පිණිස (මනාපාය), හිත පිණිස (හිතාය), සැප පිණිස (සුඛාය) පවතියි.

එක්තරා දිළින්දෙක් තථාගත දේශීය සසුනෙහි ශ‍්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ‍්‍රැතයෙන්, ත්‍යාගයෙන් හා ප‍්‍රඥාවෙන් යුක්තව සිට මරණින් පසු තව්තිසාවේ ඉපිද සෙසු දෙවියන්ට වඩා ශරීර වර්ණයෙන් ද යසසින් ද බැබලුණේ ය. (අතිරොචති වණ්ණෙන චෙච යසසා ච)

මෙනිසා අප‍්‍රසාදයට පත් සෙසු දෙවියන්ගේ ගැරහුමට එම වාසනාවන්ත දෙවිඳු ලක්වනු දුටු ශක‍්‍රදේවේද්‍රයා මෙසේ පවසයි. (සංයුක්ත නිකාය - I- සක්ක සංයුක්තයදළිද්ද සූත‍්‍රය – බු. ජ. ති‍්‍ර. – 412 පිටුව)

“යස්ස සද්ධා තථාගතෙ – අචලා සුප්පතිට්ඨිතා

සීලඤ්ච යස්ස කල්‍යාණං - අරියකන්තං පසංසිතං”

“යමෙකුට තථාගතයන් වහන්සේ පිළිබඳ අචල වූ මනාව පිහිටි ශ‍්‍රද්ධාව ඇත්තේ ද යමෙකුට මාර්ග ඵල සම්ප‍්‍රයුක්ත හෙයින් ආර්යකාන්ත වූ (බුද්ධාදී උතුමන් විසින්) පසසන ලද්දා වූ කල්‍යාණ (යහපත්) ශීලය ඇත්තේ ද සංඝ රත්නය හා ධර්ම දර්ශනය කෙරහිත් අචල ප‍්‍රසාදය ඇත්තේ ද ඔහු දිළින්දෙකු නොවේයැයි නුවණැත්තෝ කියති. (අදළිද්දොති තං ආහු) ඔහුගේ ජීවිතය නොසිස් වූවකි.” (අමොඝං තස්ස ජීවිතං)

මෙසේ බුද්ධාදී ආර්යයන් විසින් නිති පසස්නා ලද, සෝවාන් ආදී මඟඵල ලැබූ ආර්ය ශ‍්‍රාවකයන් විසින් තිති සෙවුනා ලද, මහේශාක්‍යභාවයෙන් කාමසුගතීන්හි ඉපදීම ගෙනදෙන, නිරන්තරයෙන් ම සඟමොක් සුව සදාලන ආර්යකාන්ත ශීලය පිළිබඳව අචල ශ‍්‍රද්ධාව පිහිටුවා ගැනීමෙන් විචිකිච්ඡාව ප‍්‍රමුඛ වූ අකුසල් දුරුකර, ශ‍්‍රද්ධාසීලාදී කුසලාභිවර්ධනයට නුවණැත්තන් විසින් උත්සාහ කටයුතුයි.