Welcome to Buddhistvision

You can download thripitaka, sutta deshana, dhamma books.

තෙරුවන් සරණයි !

මෙම වෙබ්අඩවියට පැමිණි ඔබහට ත්‍රිපිටකය, සූත්‍ර දේශණා, බෞද්ධ ග්‍රන්ථ ආදි බොහෝ දේ ලබා ගත හැක.

Buddhist image gallery

We have alot more than pictures, please take a few minutes to explore our huge selection!

බුද්ධ ජයන්තිය ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව

අංග සම්පූර්ණ බුද්ධ ජයන්තිය ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව,ජට්ඨ සංගායනා ත්‍රිපිටකය, පාළි-සිංහල-ඉංග්‍රීසි ත්‍රිපිටකය

Sinhala Dhamma Desana | Sinhala Dhamma Talks

This website contains a collection of Dhamma Deshana . You can download as a MP3 or video format.

දස රාජ ධර්මය


 සිල්වතා අප්‍රමාදීව කටයුතු කරන නිසා ධනවත්භාවයට පත්වේ. පිරිසක් ඉදිරියට එළැඹීමේ හැකියාව ලැබේ. ඕනෑම තැනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබේ. ඔහු පිළිබඳව කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යන අතර නිසි පිළිගැනීම හා ගෞරවය නිතැතින්ම ලැබේ. හේ සිහියෙන් යුක්තව කළුරිය කරන අතර ඒකාන්තයෙන්ම සුගතියක උපත ලබයි.




සතර බ්‍රහ්ම විහරණය ඇති මෘදු සිත ගැඹුරු විලක නිසල ජල තලයක් මෙනි. තද සිත පහසුවෙන් සැලේ. කම්පා වේ. මෘදු චිත්තය පහසුවෙන් සැලෙන්නේ, හෝ කම්පා වන්නේ නැත. එහෙයින් සත්‍යය රකිමින් ජීවත්වීමට හැකිවේ. බෞද්ධ පාලකයා ද බෝධිසත්වයෙකි. හේ යහපත් අරමුණ වෙත. ළඟා වන්නේ මනා ඉවසීමෙන් යුක්තව යි.

 


තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ එක් ගාථා රත්නයක දක්වා තිබෙන්නේ මේ කය වහා බිඳී යන මැටි බඳුනක් ලෙස දැන මේ සිත වටිනා අලංකාර නගරයක් ලෙස රැකගත යුතු බවයි. එසේ සිදුකොට ප්‍රඥාව නමැති අසිපතෙන් පහර දී මේ සිත අවුල් කරන රාග, ද්වේෂ, මෝහා දී කෙළෙස් සතුරන්ගෙන් මනා ලෙස රැකගත යුතු බවයි. එසේ රැකගත් සිත ආරක්ෂා කරගත යුතු බවයි. නගරූපම සූත්‍රයේදී අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ගොස්, සදා සැනසිලිදායක නිවනට පත්වීමට කැමැති, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු ධර්ම රාජ්‍යයක් ගොඩනගා ගත යුතු අන්දම මනා ලෙස උන්වහන්සේ විස්තර කර තිබේ. එමෙන්ම මංගල සූත්‍රයේදී උන්වහන්සේ දක්වා තිබෙන්නේ ධර්මයේ හැසිරීමට නම් පතිරූප දේශයක, එනම් ඊට උචිත පරිසරයක් ඇති රාජ්‍යයක වාසය කිරීම අත්‍යශව්‍ය බවයි.

පතිරූප දේශයක් ලෙස ගැනෙන්නේ සාමකාමී, සෞභාග්‍යවත් රාජ්‍යයකි. මෙහිලා එවැනි රාජ්‍යයක ස්වභාවය බුදුවදනට අනුකූලව විග්‍රහ කර ගැනීම අතිශයින් වැදගත් වනු ඇත. බුදුරදුන් දීඝ නිකායේ කූට දන්ත සූත්‍රය තුළින් මැනවින් දක්වා ඇති අන්දමට රාජ්‍ය බලය හැඳින්වෙන්නේ ‘ඉන්ද්‍රඛීලය’ ලෙසිනි. මේ උත්තරීතර වූ ‘රාජ්‍ය බලය’ , මුළු මහත් ලොව පුරා, ධාර්මිකව, පතුරුවා හරින බෞද්ධ පරමාදර්ශය සක්විති රජුය. චක්කවත්තී සීහනාද ආදී සූත්‍රයන්හි දැක්වෙන ලෙස මේ ධාර්මික සක්විති රජු සතුව සුවිශාල ඇත්, අස්, රිය, පාබල චතුරංගනි සේනාවක් පවතී. සප්තරත්නය පෙරටුව රාජ්‍ය කරන මේ සක්විති රජු වෙත මේ හමුදාවේ සියලුම අවශ්‍යතා සංතෘප්ත කොට ඔවුන් යහපත් මානසිකත්වයකින් තබා ගැනීමේ යුතුකම පැවරේ.
බෞද්ධ දේශපාලන දර්ශනයට අනුව දේවානම්පියතිස්ස රජුට මිහිඳු මාහිමියන් දෙසූ ලෙස තම රාජ්‍යයේ වෙසෙන සියලු සත්ත්වයින්ට ආරක්ෂාව, රැකවරණය සැලසීමට පාලකයා බැඳී සිටින අතර එය ඔහුගේ පරම යුතුකම වෙයි. ඒ උදෙසා මනා සන්නද්ධ බලයක් තිබිය යුතු අතර ඇතැම් සාමවාදීන් කියනා අයුරින් ‘නහී වේරේන වේරානී’ ධර්මය දේශනා කොට හමුදා විසුරුවන්නැයි බුදුරදුන් කිසිදු විටෙක රජුන්ට අනුශාසනා නොකළ සේක. දැහැමින් සෙමින් රාජ්‍ය පාලනයෙහි යෙදෙන මෙබඳු සක්විති රජෙකු, ‘කේතුමතී නගරය’ අගනුවර කොට රජකම් කරන කාලෙක අනාගතයේදී මෛත්‍රී සම්බුදුරජාණන්වහන්සේ පහළ වන බැව් අනාගත වංස දේශනාවෙහිදී බුදුරජාණන් වහන්සේ අනාවැකියක් දේශනා කොට ඇත .
මොනයම් හේතුවක් නිසා හෝ මේ ‘රාජ්‍ය බලය’ නම් ඉන්ද්‍රඛිලය බිඳ වැටුණහොත් ඒ හා සමඟම ඊට පහළ මට්ටමේ ඇති දස්සුඛීලය එනම් දාසයන්ගේ බලය නොඑසේ නම් සූත්‍ර අටුවාවේ කියැවෙන ලෙස චෞරයන්ගේ බලයෙහි නැඟීම ඇතිවේ. (දස්සු ඛීලයන්ති චෝර ඛීලං) අප රටේ පසුගිය කාලයේ පැවති තත්ත්වයට මෙය අදාළ කරගතහොත් රට තුළ ත්‍රස්තවාදී බලයේ නැඟීමෙන් පෙනී ගියේ ඉන්ද්‍රඛීලයේ, නොහොත් රාජ්‍ය බලයේ බිඳ වැටීම හා දස්සු ඛීලයේ නැඟීමයි.
මෙහිදී රජුගේ කාර්යභාරය සලකා බැලීම වැදගත් ය. අග්ගඤ්ඤ සූත්‍රයෙහි දක්වන ලෙස මහා සම්මතයෙන් තෝරාගත් රජුගේ කාර්යභාරය, ගර්භා කළ යුත්තන්ට ගර්භා කර, පිටුවහල් කළ යුත්තන් පිටුවහල් කර, දණ්ඩනය ක්‍රියාත්මක කර, සමාජයේ ‘’නීතිය හා සාමය” සුරක්ෂිත කිරීමයි. එසේ කළ යුත්තේ දසරාජ ධර්මයන් හි දස සක්විති වත් මත පිහිටාය. එනම් ධර්ම රාජ්‍යයක් තුළදී රජු ඉතා ධාර්මිකව, පරමාදර්ශී ආධ්‍යාත්මික ගුණ වගාවකින් හා නොකැළැල් පෞරුෂයකින් යුතු චරිතයක් වීම අතිශයින් වැදගත් ය. ‘යථා රාජා තථාපජා’ ජනතාව හැඩ ගැසෙන්නේ රජුට අනුකූලවය. ‘සබ්බා උජු ගච්ඡන්ති නෙන්තේ උජුගතේ සති’ නායකයා සෘජුව යන විට සියල්ලෝම සෘජුව යති. රාජ්‍ය පාලනය තුළ පහත සඳහන් දස රාජ ධර්මයන් හා දස සක්විතිවත් අන්තර්ගත විය යුතුය. මේ දසරාජ ධර්මයෝ ජාතක පාලියේදී තථාගත සම්මා සම්බුදුරජාණන් විසින් දේශනා කොට අනුදැන වදාළ සේක.
ඒවා නම් 1. දානය, 2. පරිත්‍යාගය, 3. ශීලය, 4. තපස, 5. අහිංසාව, 6. අක්‍රෝධය, 7. සෘජුභාවය, 8. මෘදුභාවය, 9. ඉවසීම, 10. අවිරෝධතාව යන ඒවාය.

දානය - දානය වනාහි අනුන්ට අභිමත වස්තු දී එනම් 1) ආහාරපාන 2) ඇඳුම්, 3) නිවාස, 4) බෙහෙත් ආදියෙන් සංග්‍රහ කිරීමයි. ප්‍රතිලාභ බලාපොරොත්තුවක් නැතිව දන් දීමයි. රටේ කර්මාන්තකරුවන්ට, ගොවියන්ට, ව්‍යාපාරිකයින්ට, එකී කටයුතු වැඩිදියුණු කිරීම උදෙසා අවැසි ප්‍රාග්ධන ආධාර සපයා අතහිත දීමද දානය තුළින් අපේක්ෂා කෙරේ. මෙලෙස දන්දීමේ අනුසස් සහ ප්‍රතිඵල ඉතා බලවත්ය. පාලකයෙකුට තම අරමුණු ඉටුකර ගැනීම උදෙසා අවංක දක්ෂ පිරිසක් තමා වටා එක් රොක් වන්නේ දානයේ ආනිශංස වශයෙනි. ඤාණවන්ත උපදේශකයන් ලැබෙන්නේ දානයේ අනුසස් වශයෙනි.
පරිත්‍යාගය - තමාගේ කාලය, ශ්‍රමය සහ සැප පහසුකම් අනුන්ගේ යහපත සඳහා කැපකිරීම පරිත්‍යාග ගුණයයි. මෙය නායකත්වයේ හරයයි. යහපත් නායකයෙක්වීමට මෙය වටිනාම හේතුවක් වේ. කාන්තාරයක අතරමං වී ජලය නොමැතිව මිය යෑමට ආසන්නව සිටියදී දිය උල්පත් සොයාගෙන සියලු දෙනාගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ බෝසතාණන් වහන්සේ පිළිබඳ කථාවක් ‘වණ්ණුපථ ජාතකයේ’ සඳහන්ය. එහි දී අන් සියල්ලන් අධෛර්යයට පත් වී උත්සාහය අත්හළ විටෙක, ගැල් නායක බෝධිසත්වයන් වහන්සේ තනිවම දිය උල්පත ඇතැයි හැඟෙන තැන සොයාගෙන, මහත් ධෛර්යයෙන් යුතුව එම උණ පඳුර තිබූ තැන කැන, ගල් තලාවක් බිඳවා ජලය ලබාගත් ආකාරය යහපත් නායකයෙකුගේ පරිත්‍යාගශීලී වීරෝදාර ගුණයට කදිම නිදසුනකි.

සීලය - කයෙන්, වචනයෙන් සංවර වීම සීලයයි. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලයයි. පාලකයා අනිවාර්යයෙන් මේ ආර්ය කාන්ත සීලය රැකීමට කැපවුණු අයෙකු විය යුතුය. මෙහිදී ප්‍රාණඝාතයෙන් වෙන් වුණු පාලකයා සතුරු ආක්‍රමණයකදී සතුරාට එරෙහිව යුද වදින්නේ කෙළෙසදැයි කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැකිය. එබඳු අවස්ථාවක රජු හෝ පාලකයා යුද්ධය නම් කටුක යථාර්ථයට මුහුණදීමට ක්‍රියාත්මක වන්නේ රට වැසියාගේ ආත්මාරක්ෂාව උදෙසා සිය යුතුකම ඉටු කිරීමේ උතුම් චේතනාවෙන් මිසෙක මිනීමැරීමේ චේතනාවෙන් නොවේ. ‘දෙටුගැමුණු’ රජ පුවතින්ද මේ ගැන මනා ආදර්ශයක් ගත හැක. ඒ ශ්‍රේෂ්ඨ සිංහල මහ රජු පැවසුවේ ‘මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසාම’ වන බවයි.
මේ ශීලය රැකීමෙහි ලා බොරු කීමෙන් වැළකී සත්‍යවාදී වීම, අතිශයින් වැදගත්ය. පරුෂ වචනයෙන්, අසැබි වචනයෙන් හෝ කේලාම් කීමෙන් (කේලාම් වලට හසුවීමෙන්) හිස් වචන දෙඩීමෙන් වැළකී වචනයේ උතුම් සංවරයෙන් යුක්තව කටයුතු කිරීම රාජ්‍ය පාලකයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමටද, එතුළින් යහ පාලනය ඇතිකිරීමට ද නිසැකවම ඉවහල් වේ. මෙසේ සිල්වත් වීම නිසා ලැබෙන අනුසස් රැසකි. සිල්වතා අප්‍රමාදීව කටයුතු කරන නිසා ධනවත්භාවයට පත්වේ. පිරිසක් ඉදිරියට එළැඹීමේ හැකියාව ලැබේ. ඕනෑම තැනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබේ. ඔහු පිළිබඳව කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යන අතර නිසි පිළිගැනීම හා ගෞරවය නිතැතින්ම ලැබේ. හේ සිහියෙන් යුක්තව කළුරිය කරන අතර ඒකාන්තයෙන්ම සුගතියක උපත ලබයි. තවද භාවනාව තුළින් සමාධිය ඇතිකර ගැනීමටත් ප්‍රඥාව පහළ කර ගැනීමටත් සීලය පදනම් වේ.

තපස - ආත්ම දමනය තපස් ගුණයයි. පරිත්‍යාගශීලි පුද්ගලයෝ, තණ්හාවට දාසකම් නොකරමින් මනා උත්සාහය තුළින් ලබාගත් දෙයින් පමණක් සතුටු වී සුවසේ කල් ගෙවති. චාම් සරල ජීවිතයක් ගත කරති. මෙසේ තුටු සිතින් ගත කරන දිවිය දිනෙන් දින වර්ධනය වීමෙන් අල්පේච්ඡතාව (අඩු ආශා ඇති බව - අපිස් බව) තුළින් තපස නැතහොත් ආත්ම දමනය ඇතිවේ. පාලකයෙකුට එය වටිනා බලයකි. එය අනුන්ට පරම ආදර්ශයක් වේ. අවවාදයට තරවටුවට වඩා ඒකාන්තයෙන්ම ආදර්ශය උතුම් වේ.
මෙලෙස බෞද්ධ දැහැමි බෝසත් පාලකයා තමා උදෙසා නොව අනුන් උදෙසා ජීවත්වන්නෙකි. නිසැකවම රට ජාතිය ගැන සිතන්නෙකි. තම දිවි පරදු කොට අනුන් හට අභය දෙන්නෙකි. එය ඔහුගේ ජීවිතයේ පරමාර්ථයයි. අරමුණයි.

අවිහිංසාව - හිංසාවෙන් වැළකීම අවිහිංසා ගුණයයි. මේ උදෙසා මෙත්තා, කරුණා ආදි ගුණ දම් වැඩිය යුතුය. මෛත්‍රීය වනාහි ලොකු කුඩා සියලු සත්ත්වයන් කෙරෙහි සමව පැතිර වූ මවක සිය එකම දරුවාට දක්වන ස්නේහයට සමාන වූ මිතුරු සිතයි.
කරුණාව වනාහි දුකට පත් වූ සත්ත්වයින් දුකින් මුදවා ගැනීමට සිතෙක ඇතිවන සැබෑ වුවමනාවයි. ළතෙත් භාවයයි. දානාදී පරිත්‍යාග ගුණ වලටත් මුල් වන්නේ මේ කරුණාවමයි. දැහැමි පාලකයෙකු ඒකාන්තයෙන් මෛත්‍රී භාවනාව වැඩීම වැදගත් ය. ඒ තුළින් සමාව දීමේ උතුම් ගුණයද වැඩේ.

අක්‍රෝධය - වෛරය, ඊර්ෂ්‍යාව, කෝපය, මදය මානයෙන් වැළකීම අක්‍රෝධ ගුණයයි. අනුන්ගේ සතුට දැක සතුටු වන මුදිතා ගුණය ඒකාන්තයෙන් පාලකයෙකු තුළ පිහිටිය යුතුය. හේ දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව (අන්‍යයන්ට යපතට දියුණුවට උදව් කිරීම) හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් ලෝකයාට මනා සේ සංග්‍රහ කරයි.

සෘජුභාවය - සත්‍යය රැක ගැනීම සෘජුභාවයයි. ලාභ, කීර්ති, ප්‍රශංසා, ඉදිරියේ තම අවංක ප්‍රතිපත්ති පාවා නොදී සෘජු, නිර්භයව, සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම පාලකයාගේ කාර්යභාරයයි. මනා විනයකින් හා සැළසුමකින් යුතුව කටයුතු කරන හෙතෙම කලට වෙලාවට, අලස නොවී කඩිසරව සිය කාර්යභාරයෙහි යෙදේ. පොරොන්දු කඩ නොකරයි.
විශ්වාසය රැකගනී. පැහැදුන අයගේ පැහැදීම වැඩිවන ලෙසත්, නොපැහැදුන අය පැහැදෙන ලෙසත් කටයුතු කරයි. හේ ඇත්ත හමුවෙහි මලක් මෙන් මෙලොක් වෙයි. අසත්‍යය, අධර්මය හමුවෙහි ගලක් මෙන් දැඩි වේ. කුසීතව බාධක හමුවේ පසුනොබා වජ්‍රමය අධිෂ්ඨානයෙන්, තිර අදිටනින්, සිහි කල්පනා ඇතිව පෙරටම ඇදෙයි. එබඳු පාලකයා මෙලොවත් පරලොවත් දිනයි. එබඳු පාලකයෙකු ඇති රට, සමාජය සුඛිත මුදිත වේ.

මෘදුභාවය - මෘදු භාවය වනාහි සිත මෘදු මෙලෙක්ව, අනුන්ගේ දුකෙහිදී උණුවන සුළුව තබා ගැනීමයි. මෙත්, කරුණා, මුදිතා වඩාගත් මෘදු සිත උපේක්ෂාවෙන් යුතුවේ. අටලෝ දහම ඉදිරියේ කම්පා නොවේ. සැපේදී ඉහළ නොනගී. දුකේදී පහළ නොබසී. සතර බ්‍රහ්ම විහරණය ඇති මෘදු සිත ගැඹුරු විලක නිසල ජල තලයක් මෙනි. තද සිත පහසුවෙන් සැලේ. කම්පා වේ. මෘදු චිත්තය පහසුවෙන් සැලෙන්නේ, හෝ කම්පා වන්නේ නැත. එහෙයින් සත්‍යය රකිමින් ජීවත්වීමට හැකිවේ.

ක්ෂාන්තිය - ක්ෂාන්තිය අත්‍යවශ්‍ය ගුණාංගයකි. ‘ඛන්ති පරමං තපෝ තිතික්ඛා’ ‘ඉවසීම පරම තපසයි’ යනු බුදු වදනයි. බෝසත් ඉවසීම විර්යයෙන් දුක් පීඩා දරා සිටීමට වඩා බොහෝ ඉදිරියට ගිය එකකි. බෞද්ධ පාලකයාද බෝධිසත්වයෙකි. හේ යහපත් අරමුණ වෙත. ළඟාවෙන්නේ මනා ඉවසීමෙන් යුක්තවයි.

අවිරෝධතාව - ගැටුම් වලට නොවැටීම අවිරෝධතා ගුණයයි. පාලකයන් අතර සමඟිය රැක ගැනීමට මෙය ඉතා වැදගත් වේ. එමෙන්ම උම්මග්ග ජාතකයේ විවරණය කරන ලෙසම, දක්ෂ තානාපතීන් හරහා අසල්වැසි රාජ්‍ය පාලකයන් සමඟ මනා මිතුරු සම්බන්ධතාවයක් ඇතිව යහපත්, විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුත්තේමය. එය සතුරන් ජය ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයකි. බුදුරදුන් සමූහාණ්ඩුවක් සිදුකළ ලිච්ඡවීන් අරභයා දේශනා කොට වදාළ සප්ත අපරිහාණිය ධර්ම සමගිය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය.

01. පවතින නීති නොකැඩීම, විශේෂයෙන් නීති සම්පාදනය කරන පාලකයන් හා නීති ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන් නීති නොඩකමින් ඒවා රැකගත යුතුය. නීති සම්පාදනය සදාචාරාත්මකව පංච ශීලය මත විය යුත්තේ ය. ශාසනයේ ආයුෂය විනය බවත්, රජයක ආයුෂය නීතිය බවත් බුදුරදුන් දක්වා ඇත. එහෙයින් දැහැමි පාලකයා සියල්ලටම ඉහළින් නීතිය රජ කරවිය යුතුවේ. නීතියේ අපක්ෂපාතිත්වය හා සාධාරණත්වය තහවුරු කරමින් එහි රැකවරණය සියල්ලන්ට සමව සැලැසිය යුතුය.

02. සමාජයේ සිටින වැඩිහිටියන්ට ගරු සත්කාර කළ යුතුය. ඔවුන්ගේ උපදෙස් ගරු කළ යුතුය.

03. සමාජයේ සිටින කාන්තාවන්ට මනා ආරක්ෂාව හා රැකවරණය සැළසිය යුතුවේ.

04.පැවිදි ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සිවුපසයෙන් සහ අනෙකුත් අවශ්‍ය උපස්ථාන කළ යුතුය. ඔවුන්ගේ් ධර්මානුශාසනා සැළකිල්ලට ගත යුතුය.

05. පවතින පූජනීය ස්ථානයන්ට රැකවරණය සැළසිය යුතුය.

06. රටේ පාලකයන් නිතර රැස්විය යුතුය.

07.රටේ පාලකයින් සමගිව රැස්වී සමගිව වැඩ කටයුතු කර සමගිව විසිර යා යුතුය. සමගිව රැස් වී කරන සාකච්ඡා වලින් බැසගන්නා නිගමන ක්‍රියාත්මක කිරීමට සමගිව පෙනී සිටිය යුතුය.
‘සමගිය බලය වේ’ යන්න අවිරෝධතා ගුණයේ හරයයි. බෞද්ධ ජාතක කථාවක දී වැද්දාගේ දැලට හසු වූ වටු කුරුල්ලන් ඉන් මිදුනේ සියල්ලන් එකතු වී දැල ඔසවාගෙන ගිය, සමගියේ මහිමයෙනි. පසු කලෙක විනාශ මුඛයට පත් වූයේ වාද විවාද වල පැටලී සමගිය බිඳ වැටීමෙනි. ‘නැඟී සිටිය හැකි එක්සත් වී - බෙදී ගියොත් රට යයි සුන් වී’ යැයි ගීයක කියැවෙන්නේ ද මේ සදාතනික දහමයි. ‘සමගිය’ රකින්නට නම් එකිනෙකා අනෙකාට මිතුරු සිතින් ගරු කළ යුතුමය. කෙළෙහි ගුණ නොදන්නා ගුණ මකුවන්, පාවා දෙන්නන් සිටිත්නම්, එබඳු තැනක සමගිය නොරැකේ. සියල්ලන් එකා වෙනුවෙනුත්, එකා සියල්ලන් වෙනුවෙනුත් කටයුතු කළ යුතුය.
තවද රාජ්‍ය පාලකයනට උපකාරී වන දස සක්විතිවත් මේවාය. (චක්කවත්තී සීහනාද සූත්‍රය - දීඝ නිකාය)

01.ධර්මය ඇසුරු කර ගනිමින්, ධර්මයම ගරු කොට ගනිමින්, ධර්මයම කොඩියක් කොට ගෙන, ධර්මයම අධිපතිබවෙහි තබා අඹුදරු ආදී අභ්‍යන්තර ජනයා පිළිබඳව,

02.ඒ අයුරින්ම අනුගත වෙසෙන ක්‍ෂත්‍රීය ජනයා පිළිබඳවද.

03. ඒ අයුරින්ම බ්‍රාහ්මණ ගෘහපති ජනයා පිළිබඳවද,

04. ඒ අයුරින් නියම් ගම් ජනපද වැසි ජනයා පිළිබඳවද

05. ඒ අයුරින් මහණ බමුණන් පිළිබඳවද

06.ඒ අයුරින්ම මෘග පක්ෂීන් පිළිබඳවද ධාර්මික රක්ෂාවරණ සැලසීම (මේ දහම අනුව යමින් පෙර දැහැමි සිංහල රජවරු මාඝාතය පනවා රටෙහි සතුන්මැරීම සපුරා තහනම් කළ අවස්ථාවන් මහාවංශයෙහි කියැවේ. ඒ අනුව හුදු මානව අයිතීන් නොව සියලු සත්ත්වයන්ගේ අයිතීන් සුරැකීමට බුදුදහම අනුබල දේ. බුදුදහම වඩාත් අනුබල දෙන්නේ තම අයිතීන් වෙනුවෙන් කේවල් කිරීමට නොව, නොපැකිළ තම යුතුකම් ඉටු කිරීමටය. සමාජයේ සියල්ලන් යුතුකම් මනාව ඉටු කරන්නේ නම්, අයිතීන් නිරායාසයෙන්ම සුරක්ෂිත වේ.

07. රට තුළ අදැහැමි ක්‍රියා නොසිදුවන ලෙසට කටයුතු යෙදීම

08. රටෙහි ධනය නොමැති අයට ධනය ලැබෙන පරිදි කටයුතු යෙදීම

09.සිත දියුණු කිරීමෙහි යෙදුණු, මදයෙන්, ප්‍රමාදයෙන් වැළකුණු මහණ බමුණන් වෙත කලින් කල එළඹ, යහපත අයහපත පිණිස හේතුවන කරුණු විමසා දැන ගැනීම

10. අකුසල් බැහැර කර කුසල් සමාදන්ව ඒ අනුව පැවතීම

මේ ලෙස දැහැමින් සෙමින් රට කරවන පාලකයන්ට, සම්දිටු දෙවියන්ගේ ආශිර්වාදයද ලැබී බාධා ජය ගත හැකිවේ. සප්ත අපරිහාණීය ධර්මයන්හිදී සමගියෙන් රැස්වන පාලකයින්ට එම රැස්වීමක් අතරමඟදී පිටව යා හැකි අවස්ථාවක් වශයෙන් දක්වා තිබෙන්නේ රාජ්‍යයෙහි සතුරු උවදුරක් පැන නැඟී ඇති විටෙකයි. එහිදී එම රාජ්‍යයේ ආරක්ෂාව පිළිබඳ වගකීම් දරන්නවුන්ට රැස්වීම අතරවාරයේ වහා නැඟිට යා හැකි බව දැක්වේ. ඉන් හැඟෙන්නේ රාජ්‍ය පාලකයින් ආරක්ෂාව සම්බන්ධ අප්‍රමාදීව පියවර ගත යුතු බවයි. නොඑසේනම් සතුරු ආක්‍රමණයකදී හෝ ත්‍රස්තවාදී කැරැල්ලකදී සැඟව බියගුළුව පලායාම කිසිසේත් බුදුදහම අනුමත කරන්නේ නැත. ආක්‍රමණික හෝ ත්‍රස්තවාදී සතුරෙකු ඉදිරියේ සමාජයක් ලෙස යටත්වීම සිදුකළ හැකි නොවේ. ප්‍රශ්නය සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත නොහැකි නම්, නොබා පෙරළා පහර දිය යුතුය. ජනතාවගේ අයිතිය නිදහස රැකගත යුතුය.
මේ හා බැඳි ගාථා ධර්මයක් අපවත්වී වදාළ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් විසින් චිරචිත ‘බුද්ධ නීති සංග්‍රහය’ නමැති ග්‍රන්ථයේ 46 වන පිටෙහි 86 වන ගාථාව ලෙස සඳහන්ය. එම බුදුවදන මෙසේය.
86. නෙව දුට්ඨෙ නයො අත්ථි න ධම්මෝන න සුභාසිතං නික්ඛමං දුට්ඨෙ යුඤ්ජෙථ සොච සබ්භි න රඤ්ජති (8 නි දීපී ජාතකය)
මෙම ගාථා ධර්මයේ සිංහල අර්ථය නාහිමියන් එම පොතෙහි මෙසේ සඳහන් කර ඇත. දුෂ්ඨයාට පරාක්‍රමයම යෙදිය යුතුව.
දුෂ්ඨයාට කාරණයක් නැත. ධර්මයක් නැත. යහපත් චචනයක් නැත. කාරණා කාරණා කීමෙන් හෝ ධර්මය දැක්වීමෙන් හෝ හොඳින් කතා කිරීමෙන් හෝ ඔහුගෙන් ගැලවිය නොහැකිය. යහපත ඔහුට රුචි නැත. ඔහු කෙරෙහි පරාක්‍රමයම යෙදිය යුතුය. පුරා අවුරුදු විසි පහකට අධික කාලයක් මෙරටෙහි පැවැති ම්ලේච්ඡ කොටි කුරිරු ත්‍රස්තවාදයට විසඳුම් සෙවීමේදී මෙම ගාථා ධර්මයේ අරුත මැනවින් දැක ගත හැකි විය.
එනම් ජනාධිපතිතුමන්ගේ අභීත සේනාධිනායකත්වයෙන්, ආරක්ෂක ලේකම්තුමන්ගේ මගපෙන්වීමෙන්, අප වීරෝදාර ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකා එක්ව, අභීතව යුද වැද, ත්‍රස්තවාදය නිසි ප්‍රතිකාර මඟින් සුව කෙරුණි. ඒ උදෙසා මානුෂික නීතියට ගරු කරමින් නිසි යුදමය බලය යෙදවුණි. ඉන්ද්‍රඛීලය නැතිනම් රාජ්‍ය බලය නැවතත් තහවුරු කෙරුණි.
මේ සූත්‍රය අනුව යමින් දස්සුඛීලය මුලිනුපුටා දැමීමට නම් මූලික වශයෙන් සිදුකළ යුත්තේ සංවිධිත ආර්ථික ක්‍රමයක් ඇති කිරීම තුළින් දිළිඳුකම පිටුදැකීමයි. ඒ තුළින් සංවර්ධනයේ ප්‍රතිලාභ සියල්ලන් අතර බෙදී යාමට සලස්වා සමාජ අසහනය පිටු දැකිය යුතු වෙයි.

අපාය සහ දිව්‍ය ලෝකය ඒ හැටියෙන්ම දැක බලා ගන්නට අවස්ථාව

කරන ලද කුසල කර්මානුරූපව උතුම් වූ මනුෂ්‍යත්වයක් ලැබූවකු හට සිය ජීවිත කාලය තුළ දී අපාය සහ දිව්‍ය ලෝකය ඒ හැටියෙන්ම දැක බලා ගන්නට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. කලාතුරකින් වුවද ලැබෙන ඒ අවස්ථාව ලබන්නට තරම් පින් කළ කෙනෙකි වේදේහ රට මියුලු නුවර නිමි රජ. එක් කාලයකදී වේදේහ රටෙහි මියුලු නුවර මඛාදේව රජු රජකම් කරන ලද්දේ ය. බොහෝ කලක් රජ සැප විඳි රජු දිනක් තම කරණවෑමියාට කතා කොට යම් දවසක තම හිසෙහි සුදු පැහැ කෙස් ගසක් දුටු කළ එය තමනට දන්වන ලෙසද අණ කළේ ය. කලක් ගත විය. දිනක් රජු ගේ හිසෙහි සුදු පැහැ කෙස් ගසක් දුටු කරණවෑමියා ඒ බව රජුට දැන්වූයෙන්, රජු සිය වැඩිමල් පුතුට රාජ්‍යය පවරා මුවදෙව් නම් උයනේදී පැවිදි වෙස් ගෙන ධ්‍යාන ලබා බඹලොව උපත ලැබීය. ඉන් පසු මඛාදේව රජුගේ පුතුන් දෙදෙනාද බොහෝ රජසිරි විඳ හිසෙහි පැසුණු කෙස් මතු වූ විට රජ සැප හැර දා පැවිදිව ධ්‍යාන ලබා බඹලොව ඉපදුණි.
      
           දිනක් මඛාදේව රජු බඹලොව සිට මනුලොව බලන්නේ තම පැවිදි වංශය රැක ගැනීමට කෙනෙකු නොමැති බැව් දැන බඹලොවින් චුත වී මියුලු නුවර මහ රජුට දාව අග මෙහෙසිය කුසින් මෙලොව එළිය දුටුවේය. නිමි රජ්ජුරුවෝ ලෙස නම් කරන ලද්දේ එසේ උපන් මඛාදේව රජුමය. නිමි රජ කුඩා කල සිටං පිනට දහමට ලැදිය. නිරතුරවම පෙහෙවස් රකිමින් කුසල් දම්හි යෙදෙන්නේය. නුවර සතර වාහල්කඩ දන්සල් කරවා නිති දන් දෙන්නේය. රජුගේ අවවාද අනුශාසනා වලින් යහමඟ ගිය බොහෝ මනුෂ්‍යයෝ දාන, ශීලාදී උතුම් පින්කම් කොට දිව්‍ය ලෝකයෙහි උපදින්නේ, නරකාදිය හිස් වන්නට විය. නිමි රජුගේ නාමයද දසත පතළ වන්නට විය. මෙසේ කල් ගත වෙද්දී පසළොස්වක දිනය උදා විය. නිමි රජ පෙහෙවස් සමාදන්ව දාන ශීලාදී පින්කම් කොට සිත් සමාධියෙන් සැතපී හිඳින විට සිතෙහි එක්තරා සැකයක් හට ගත්තේය. මම නිරතුරවම මහජනයා උදෙසා දන් දෙමි. එමෙන්ම දිවි හිමියෙන් පන්සිල් සුරකිමි. එහෙත් මේ දාන ශීල යන පින්කම් දෙකින් කවරක් උසස් වෙත්ද?’ යනුවෙන් ඇති වූ සැකය නිසා නිදි නොලබාම චිත්ත සන්තාපයෙන් කල් ඇරියේය. 
            
          මේ වේලෙහි නිමි රජුගේ ශීලානුභාවයෙන් සක් දෙවිඳුන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු විය. එවිට සක් දෙවිඳු ලොව බලන්නේ නිමි රජු සිත තුළ ඇති වූ සැකය දැක එය විසඳාලන්නෙමියි සිතා ශක්‍ර භවනයෙන්, නිමි රජ මාළිඟයේ ශ්‍රී යහන් ගබඩාවට පැමිණියේ ය. නිමි රජු ඒ සක් දෙවිඳු යැයි නොදැන “තොප කවරෙක්ද? දෙවියෙක්ද, ගන්ධර්වයෙක්ද?’ මහරජ සක් දෙවිඳු නම් මම වෙමි. තොප සිතෙහි උපන් සැකය දුරුකරලීම පිණිස මෙහි පැමිණියෙමි. නිමි රජ තම සිතෙහි උපන් සැකය එනම් දානයද ශීලයද වඩා උතුම් යනුවෙන් ශක්‍රයා විමසීය. එවිට සක් දෙවිඳු නොයෙක් උපහැරණ ගෙන දක්වමින් දානයට වඩා ශීලය උතුම් බව පවසා රජු සිතෙහි සැකය දුරුකොට ආපසු ශක්‍ර භවනයටම ගියේය. 
              
     මෙසේ පැමිණි සක් දෙවිඳු දුටු අනෙකුත් දෙවිවරු සක් දෙවිඳුගේ ගමන ගැන විමසුහ. ‘මම මියුලු නුවර නිමි රජුගේ සිතෙහි ඇති වූ සැකයක් විසඳීම පිණිස ගියෙමි’ ‘සක් දෙවිඳුනි, නිමි රජු අපෙගේත් ගුරුවරයාය. එසේ හෙයින් ඔහුගෙන් බණ අසන්නට අපිත් යන්නෙමු. ‘තොප යා යුතු නැත. නිමි රජු මෙහි ගෙන්වාගෙන බණ අසන්නට සලස්වමි’ යි පැවසූ සක් දෙවිඳු මාතලී දෙව් පුත් කැඳවා නිමි රජ කැඳවාගෙන එන්නට අණ කළේය. නිමි රජුද මියුලු නුවර වාසීනට අවවාද කොට මාතලී දෙව් පුත් සමඟ ශක්‍ර භවනයට යන ගමනේදී මාතලී දෙව්පුත් මෙසේ අසයි. ‘පින්වත් රජතුමාණෙනි, යන ගමනේදී පින් කළ වුන් වෙසෙන දෙව්ලොවට හෝ පව් කළ වුන් රැඳෙන අපායට යා හැකිය. පළමුව යන්නේ කොතැනටද? පළමුව නරකය දකින්නට කැමති යයි රජු ප්‍රකාශ කළෙන් තමන් ජීවත්ව සිටියදී නරකයට ගොස් පව්කම් වල විපාක දකින්නට නිමි රජට වාසනාව අත්විය. මාතලී දෙව් පුතු නරකය කරා රථය පදවන්නට විය. පළමුව පැදවූයේ චෙතරණී නම් නරකයටයි. දිගින් පළලින් හා ගැඹුරින් සැට යොදුනක් බැගින්වූ එහි ගිනිගෙන දැවෙන ලෝ දිය පිරී පවතී. අකුසල් කළවුන්ගේ ඇට නහර බිඳී යන ගිනිගෙන දැවෙන මුවහත් පියන්පතින් ඔවුනගේ ඇට නහර ම සිඳී යති. පාපය මහත් හෙයින් යළි යළි ඉපිද ලෝදියෙහි පැසෙති. නිමි රජු ඒ දැක තැතිගන්නවා දුටු මාතලි දෙව් පුතු මෙසේ කීය. ‘මහරජ මොවුන් මිනිස් ලොව සිටියදී දාගැබ්, පිළිම, විහාර කඩා බිඳ දැමීමේ පවින්ද, කිසිදු මහන්සියකින් තොරව අසරණයින්ගෙන් බදු අයකළ පවින්ද මෙසේ චෙතරණි නරකයෙහි දුක් විඳිති. 
               
             ඉන්පසු රථය පැදවූයේ දිගින්, පළලින් හා ගැඹුරින් පනස් යොදුන බැගින් වූ ඔසුපත් නරකය වෙතය. එහි ඉතා විශාල ශරීර ඇති විසකුරු සතුන් විසින් වටකර ඇට නගර බිඳින ලද පව්කාර සත්ත්වයෝ නැවත ඉපිදෙමින් එසේම දුක් විඳිති. මාතලි දෙව්පුත් කියන්නේ… “මොවුන් මිනිස් ලොව ඉපිද සිටි කාලයෙහි සෙනසුන්, දාගැබ්, අම්බලම් හා ඒ දඬු පාලම් බඳින්නට යැයි කියා මිනිසුන් රවටා මුදල් ඉල්ලාගෙන පොරොන්දු වූ ලෙස ඒවා ඉදි නොකොට ඒ මුදලින් තම බඩවියත සරිකළවුන්ය’. එසේ පැවසූ මාතලී දෙව්පුතු නිමි රජු කැඳවාගෙන දිග, පළල හා ගැඹුර දහසක් යොදුන බැගින්වූ ලෝකුඹු නිරයට රථය ගෙන ගියේය. මුවවිට දක්වා පිරී පැසෙනා ලෝදියෙහි පැසෙමින් යළි යළි ඉපිද දුක්විඳින සත්ත්වයින් පෙන්නා මාතලී දෙව්පුත් කියන්නේ “මහරජය…. මොවුන් මිනිස් ලොවදී කුකුළන් ඇතුළු නොයෙක් සතුන් හදාවඩා හෝ වනයට ගොසින් මරා මස් කා සුරාපානය කරමින් පී‍්‍රති වූවෝ වෙති.’
               
         එසේ පැවසූ මාතලී දෙව්පුත් ලෝකුඹු නිරයෙන් නික්මී සීත නම් නරකය වෙත නිමි රජු රැගෙන ගියේය. යොදුන් තුන්සියයක් බැගින් වූ දිග පළල හා ගැඹුරින් යුත් වූ සීත නරකයේ දරාගත නොහී සීතයෙන් උඩු යටිකුරුව ඇට නහර සුන්ව නැවත නැවත ඉපදෙමින් විපාක විඳිනවුන් නිමි රජුට පෙන් වූ දෙව් පුතු “මොවුන් මිනිස් ලොවදී දානයෙන්, ධර්මයෙන් ජීවිකාව ගෙනයන්නවුන් නසා, අනුන්ගේ දේ බලෙන් ගත්තවුන් හා ගෙවලට වැද සොරකම් කළවුන් වන්නේය…’ පවසා නිමි රජු සමඟ දිග, පළල හා ගැඹුර සත්සියයක් යොදුන බැගින්වූ සංඝාත නම් නරකය වෙත ගියේය. එහි මුවවිට දක්වා පිරුණු වතුරේ විශාල ශරීර ඇති පණුවෝ පව්කම් කළවුන්ගේ ඇඟ මස් උදුරා කා ඇට නහර බිඳී. මෙසේ නොනැවතී දුක් විඳින සත්ත්වයින් පෙන් වූ මාතලී දෙව්පුත් “ මහරජ මොවුන් මිනිස් ලොවදී බොරු වළවල් කපා, ඒ මත උල සිටුවා, මලපුඩු අටවා සතුන් මරා මස් කළවුන්, හා දාගැබ් පිළිම නොවැද, බණ නොඅසා, යමක් සිඟා ආ වුන්ට කිසිත් නොදී පව්කම් කළෝ වෙති. ඉන්පසු ගියේ යොදුන් නවසීයක් දිග, පළල හා ගැඹුරැති තාප නම් නරකය වෙතය. මෙහි තඹ වැනි දියෙන් නැගෙන ගිනි මත, යොදුනක් පමණ උස සත්ත්වයෝ සතරගාත් එක්කොට බැඳ පැසෙමින් සිටිති. ඔවුන් පෙන්වා දෙව්පුතු මෙසේ කීවේය. ‘මොවුන් මිනිසුන්ව සිටි කල කුරුල්ලන් වැනි සත්ත්වයින් මරා උකුණන් හා මකුණන් මරා හා මකුණනට උණුදිය වත්කොට මරා දැමුවෝ වෙති. ඉන්පසු ඔවුන් ගියේ යොදුන් පනහක් දිග, පළල හා ගැඹුර ඇති අඟුරුමැල නම් නිරය වෙතය. මෙහි ගිනිගෙන දිළිසෙන අඟුරු අතර පිච්චෙමින් මහ හඩින් හඬමින් ගිනියම් අඟුරු දෝතින් තමන්ගේ ශරීරයට ඉස ගනිමින් නිරතුරු දැවෙන සත්ත්වයින් නිමි රජුහට පෙන් වූ මාතලී දෙව් පුතු” මහරජ මොවුන් මිනිසුන්ව සිටි කළ සතුන්මරා මස් පුළුස්සා කෑ අය හා ඒ මස් ගෙනගොස් උයා මස් ඉතා රසයි යනුවෙන් කියා කෑ අය හා නොයෙක් සතුන් දුටු විට උන්ගේ ඇගේ තෙල් බොහෝ ඇත යනුවෙන් කියූවෝ වෙති. මාතලී දෙව්පුතු නිමි රජු කැඳවාගෙන එතැනින් ගියේ යොදුන් තුන් සියයක් දිග, පළල හා ගැඹුරින් යුතු දළකෙස්මැලි නම් නරකය වෙතය. ඉතා විශාල ශරීර ඇති කවුඩන් හා උකුස්සන් එහි වෙසෙන පව්කම් කළවුන්ගේ ඇස් උදුරාගෙන, බඩවැල් ඇද කති. නමුත් කර්ම බලයෙන් නැවත එහිම ඉපිද පෙරසේම දුක් විඳිති. දිව්‍ය පුත්‍රයා නිමි රජුට මෙසේ කීවේය. ‘මහරජ මොවුන් මිනිසුන් කළ මහත් ධනයක් තිබුණද සුළුවෙන් දන් දී අධර්මයෙන් වෙළදාම් කළවුන් හා වී සමඟ බොල් මිශ්‍ර කොට දුන්නවුන් හා කුඩා ලාහකින් දී මහා ලාහකින් ආපසු ගත්තවුන් සේම නොදෙන දෙයක් දෙන්නම් කියා රවටාලූවන් ද වෙති. ඉන්පසු ඔවුන් දෙදෙන ගියේ පොකුරුපත් නම් නිරය වෙතය. දිග, පළල හා ගැඹුර යොදුන් හාරසීයක් වූ එහි ඉතා විශාල ශරීර ඇති කිනිතුල්ලෝ රුදුරු වේශයෙන් අකුසල් කළවුන්ගේ ඇට නහර බිඳ කති. මෙසේ දුක් විඳිනා සත්ත්වයෝ පෙන්වා මාතලී දෙව්පුත් කියන්නේ “මොවුන් මිනිස් ලොව සිටි කළ සංඝයා වහන්සේට හා සිල්වතුන්ට අපහාස කළෝය. සංඝයා වහන්සේ ඔවුනොවුන් කෙරෙහි බිඳ වූවෝ ය. මව්පියන්, නැදිමයිලන් හා වැඩිහිටියන් දැක අසුනින් නොනැගිටම ඔවුන් හා තර්ක විතර්ක කළෝය. මේ උන් පැසෙන නරකයයි.

       එතැනින් නික්මී දිග, පළල හා ගැඹුර පනස් යොදුනක් පමණ වූ වෙරළ නම් නිරයට රථය ගෙන ගියේය. එහි වෙසෙන විශාල ශරීර හා කුරිරු දළ ඇති බල්ලෝ අකුසල් කළවුන් අල්ලා මස් ඉරා කා ඇට නහර බිඳිති. එහෙත් අකුසල් මහත් හෙයින් එහිම නැවත නැවත ඉපදී විපාක විඳිති. ඔවුන් පෙන්වා මාතලී දෙව්පුත් කියන්නේ, “මහරජ, මොවුන් මිනිසුන් ලෙස සිටි කළ දඩයම් පිණිස බල්ලන් පුරුදු කර උන් ලවා ගෝණුන්, හාවන් වැනි සතුන් මැරවූවන් හා අතංගු හා බිලීකටු වැනි දේ වලින් කුඩා මසුන් ඇල්ලූවන් වෙති. එම නිරය දැක බලාගත් නිමි රජුත්, මාතලීත් ඊළඟට ගියේ අළුකුඹු නම් නරකය වෙතය. දිග, පළල හා ගැඹුර පනස් යොදුන බැගින් වූ එහි මුව විට දක්වා ගිනිගෙන දැවෙන අළු පිරී ඇත. අකුසල් කළවුන් මේ අළුවල දැවීදැවී පතුලේ සිට උඩටත් උඩසිට පතුලටත් යති. එහිම මියගොස් යළිත් එහිම උපදී විපාක විඳිති. ඔවුන් පෙන්වා දෙව්පුත් කියන්නේ් ‘’මහරජ බෙහෙත් බී දරු ගැබ නැසුවෝද ඒ දරු ගැබ නසන්නට බෙහෙත් දුන්නෝද ඔසප් වූ බව දැනගෙනම එම දිනවල කම්සුව විඳි ගැහැණුන් හා මිනිසුන්ද පෝය දිනවල තොටුපලවල හා කම්හල් වල වැඩ කළවුන්ද පැසෙන නරකය මෙයයි. 
               
           ඉන්පසු ඔවුන් දෙදෙන දිග, පළල හා ගැඹුර සැට යොදුන බැගින් වූ ඉඹුල්වන නම් නිරයට ගියෝය. එහි ඉඹුල් ගස්වල එක් පැත්තක ගිනිගෙන දැවෙන උඩට හැරවූ උල් කටුත් අනෙක් පස එවැනිම වූ පහතට හැර වූ කටුත් ඇත. අකුසල් කළ ගැහැණියකට හිස සිට පය දක්වා ගිනියම් වූ ආභරණ පළන්ඳන යමපල්ලෝ ඔවුන් අත ඇති යගදාවෙන් පහර පන්සීයක් ගසා ඉඹුල් ගසට නංවති. එහි කටු ඇනී ලෙයින් තෙත්ව හඬ හඬා බසින අතරේ ඇයට පෙම්බැඳි පුරුෂයාටද එසේම කරති. දෙදෙනාම ගව්වක් උස් වූ ඉඹුල් ගසේ නගිමින් බසිමින් මියයමින් උපදිමින් විපාක විඳිති. ඒ දැක තැතිගත් නිමි රජු දුටු මාතලී දෙව්පුත් කියන්නේ “ මහරජ… මොවුන් මිනිසුන්ව සිටි කළ තම තමන්ගේ් බිරින්දන් හා ස්වාමිපුරුෂයින් රවටමින් පර අඹ හා පරපුරුෂ සේවනයෙහි යෙදුනවුන්යැයි පහදා දුනි. මොවුන් මෙසේ විපාක විඳ නරකයෙන් ගොඩ වුවද පන්සියයක් ජාති නපුංසකව උපදින බවද කීය. එතැනින් නික්මී නිමි රජු රැගත් රථය පැමිණියේ දිග, පළල හා ගැඹුර, සත්සියයක් යොදුන බැගින්වූ කිහිරිඟුරු නම් නරකය වෙතය. මෙහි යොදුනක් උසැති සූක්ෂම උල් කටු ඇනි ඇනී ගින්නෙන් දැවි දැවී ගිනිගෙන දැවෙන වියදඬු හා නඟුල් ඉස තබාගෙන සමහරු පැසෙති. ගිනිගත් රුකක් ඉස තබා ගත්තවුන්ද මහ හඬින් හඬමින් දිව දෙතුන් විටක් ඇඳ ගත්තවුන්ද, ගිනිගත් යකඩ කඳක් හිස තබාගත්තවුන්ද පෙන් වූ මාතලී දෙව්පුත් “මහරජ මොවුන් මිනිස් ලොව සිටියදී දිව ඇද කා සිය පණ නසාගත්තවුන්ද, වස විෂ කා පණ හානිකර ගත්තවුන්ද, ගෙල වැලලාගෙන මියැදුනවුන්ද එසේම අවේලාවේ කුඹුරුවල සීසෑ වුන්ද වෙති’ යි පැවසීය. 
                     
          එම නිරය දැක ඔවුන් ගියේ රෞරව නම් මහ නිරය වෙතය. දිග පළල හා ගැඹුර දහසක් යොදුන බැගින් වූ එහි යමපල්ලෝ පව්කළවුන් අල්වා හිස සිට දෙපතුල දක්වා හම ගසති. පොරොවෙන් ඉරති. පලති. මියගියත් නැවත එහිම ඉපදී විපාක විඳිති. මොවුන් නම් රජුට පෙන් වූ දෙවිපුතු “මහරජ මොවුන් මිනිස් ලොව සිටියදී සිත්තරුන්ව සිට මුදල් සොයනු පිණිස හොඳට තිබූ පිළිම විනාශ කොට ඉන්පසු ඒවා හොඳින් පිළියම් නොකොට ගාස්තු අයකළ වුන්ය. පෙති පිළිම විකුණා කෑවුන්ය. අනුන්ගේ රන්, රිදී, මුදල්, වී, හාල්, ගව, කුකුළු ආදීන් සොරාගෙන කෑවුන්ය. දන් දෙන්නට යයි බොරු කියා අනුන්ගෙන් ඉල්ලාගෙන කෑ වුන්ය’ යැයි පැවසීය. ඉන්පසු ඔවුන් දෙදෙන ගියේ දිග, පළල හා ගැඹුර දහසක් යොදුන බැගින් වූ පදුම නම් නරකය වෙතය. ගින්නෙන් පැසී කැකෑරෙන තඹ දිය මත අතුරු සිදුරු නැතිව පිරුණු විශාල ශරීර ඇති කෘමි සතුන් ව ඉපදුනු අකුසල් කළවුන් උනුන්ම වටලා පහර දී මස් ඇද, ඇට නහර බිඳ කති. මියගොස් නැවත ඉපදී විපාක විඳිති. මොවුන් පෙන් වූ මාතලී දෙවිපුතු “මහරජ මොවුන් මිනිසුන්ව සිටියදී, කකුළුවන් බෙල්ලන් වැනි සතුන් අල්ලා මැරුවෝ වෙති. වනයේ වසන සතුනට වස දී මැරුවෝ වෙති. කේලාම් කියා ඔවුනොවුන් බිඳලූවෝ වෙති’ යනුවෙන් පැවසීය. මෙසේ ශක්‍රයාගේ ආරාධනයෙන් දෙව්ලාවට යන අතරතුරදී එකසිය තිස් හතක් වූ නිරයන්ගෙන් කිහිපයක් බලාගන්නට නිමි රජුට හැකි වූ බවත්, ඉන්පසු ඔහු දිව්‍ය ලෝකය නරඹන්නට ගිය බවත් එසේ නිමි රජව උපන්නේ ගෞතම සම්බුදු රජාණන් වහන්සේ බවත් නිමි ජාතකයේ සඳහන්ව ඇත.

අප සරණගිය බුදුරජාණන්වහන්සේගේ අනන්තවූ ප්‍රඥාවෙන් බිඳක් වූ තෙසැත්තෑ ඤාණ.

1. සොතාවධානෙ පඤ්ඤා සුතමයේ ඤාණං
බෝසතාණන් වහන්සේ පෙර බුදු හිමිවරුන්ගේ දහම් ඇසීමෙන් ලත් ප්‍රඥාව, සුතමය ඤාණයයි.


2. සූත්වාන සංවරේ පඤ්ඤා, සීලමයේ ඤාණං

සුතමය ඤාණයෙන් ලැබූ ප්‍රඥාවෙන් පාරිශුද්ධ වූ බුදුන් වහන්සේ, පාරිශුද්ධි සීල ස්කන්ධයෙන් පරිපූර්ණ වීමේ ප්‍රඥාව සීලමය ඤාණයයි.


3.සංවරිත්වා සමාදහනේ පඤ්ඤා සමාධි භාවනාමයේ ඤාණං
මඟ ඵල නිවන් ලබන සීලයේ පිහිටා සිත නොයෙක් අරමුණුවල විසිර යා නොදී සංවර වීමෙන් සිත තැන්පත් කර ගැනීමේ නුවණ, සමාධි භාවනා මය ඤාණයයි.

4.පච්චය පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඤාණං
හේතු ඵල සහිත නාම රූප ධර්ම නොයෙක් අන්දමින් දන්නා වූ නුවණ, ධම්මට්ඨිති ඤාණයයි.

5.අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංඛිපිත්වා වවත්ථානේ පඤ්ඤා , සම්මසතන ඤාණං
අතීත අනාගත වර්තමාන තුන් කාලයටම අයිති පඤ්චස්කන්ධ යෙහි වෙන වෙනම නුවණ මෙහෙයවා ත්‍රිලක්ෂණ යට යොමු කිරීමේ නුවණ ,සම්මසනෙ ඤාණයයි.

6.පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බයානු පස්සනේ ඤාණං
වර්තමාන වශයෙන් ලැබෙන්නා වූ පඤ්චස්කන්ධ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම හා නැතිවීම පිළිබඳ නුවණින් බැලීම, උදයබ්බයානුපස්සනේ ඤාණයයි.

7.ආරම්මණං පටිසංඛා භංගානු පස්සනේ පඤ්ඤා විපස්සනේ ඤාණං
නාම රූප ස්කන්ධයන්ගේද විදර්ශනා ඤාණයාගේද බිඳී යෑම නැවත නැවත නුවණින් සැලකීමේ ප්‍රඥාව භංගානුපස්සනා නම් විදර්ශනා ඤාණයයි.

8.භයතුපට්ඨානේ පඤ්ඤා ආදීන වේ ඤාණං
ඉපදීම පැවතීම අරමුණු ගැනීම, රැස් කිරීම යන මේ සෑම සංස්කාරයක්ම බිය උපදවන දේ වශයෙන් වැටහීම හා නිර්වාණය එකම ක්‍ෂේම ස්ථානය වශයෙන් වැටහීමේ නුවණ, ආදීනව ඤාණයයි.

9.මුඤ්චිකු කම්‍යතා පටිසංඛා සන්තිට්ඨතා පඤ්ඤා, සංඛාරුපෙක්ඛාසු ඤාණං
මිදෙනු කැමැත්ත ඊට උපාය සැලසීම, උපේක්‍ෂා වශයෙන් නැවතීම සහ තුන් ආකාරයෙන් ඇති ප්‍රඥාව , සංඛාරු පෙක්ඛාසු ඤාණයයි.

10.බහිද්ධා වුට්ඨාන විවට්නේ පඤ්ඤා
ගොත්‍රභූඤාණං
බාහිර සංස්කාර නිමිත්තෙන් නැගී විදර්ශනාවෙන් අරමුණු කොට ගන්නා ලද නිවනට නැඹුරු වූ ප්‍රඥාව , ගෝත්‍රභූ ඤාණයයි.

11.දූභතො වුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා
මග්ගේ ඤාණං
නිමිත්ත එය පැවැත්වීම යන දෙකින් නැගී, පරාමර්ශනය වන ප්‍රඥාව මාර්ග ඤාණයයි.

12.පයොග පටිප්පස්සද්ධි පඤ්ඤා ඵලෙ ඤාණං
උද්යෝගිවත් මාර්ග භාවනාව (දූභතෝ වුට්ඨාන) නිම වීමෙන් ලැබෙන ප්‍රඥාව , ඵල ඤාණය යි.

13. ඡින්න වටුමානු පස්සනෙ පඤ්ඤා
විමුක්ති ඤාණං
නැසූ කෙලෙසුන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ (නැවත සලකා බැලීමේ )ප්‍රඥාව විමුක්ති ඤාණයයි

14. තදා සමුදාගතෙ ධම්මෙ පස්සෙන පඤ්ඤා පඤඤවෙක්ඛණෙ ඤාණං
සිවු මඟ ඵල වලට පැමිණීමෙන් ලැබෙන්නා වූ මාර්ග ඵල නිවන ආදී ධර්ම දැකීමේ ප්‍රඥාව පච්චවෙක්ඛණේ ඤාණයයි.

15.අජ්ඣත්ත වවත්ථානෙ පඤ්ඤා
වත්ථූ නානත්තේ ඤාණං
ඇස , කන නාසය දිව ශරීරය මනස යන අධ්‍යාත්මික ආයතන බෙදා එහි යථා ස්වභාව මෙනෙහි කරන්නා වූ නුවණ, වත්ථු නානත්ත ඤාණයයි.

16. බහිද්ධා වවත්ථානෙ පඤ්ඤා
ගෝචර නානත්තෙ ඤාණං
රූප , ශබ්ද, ගන්ධ, රස , ස්පර්ශ, ධම්ම යන බාහිර ආයතන බෙදා එහි යථා ස්වභාව මෙනෙහි කරන්නා වූ නුවණ, ගෝචර නානත්ත ඤාණයයි.

17.චරියා වවත්ථානෙ පඤ්ඤා
චරියා නානත්තෙ ඤාණං

කුසලා කුසල වශයෙන් හටගන්නා වූ විඤ්ඤාණ චරියා අඤ්ඤාණචරියා, ඤාණචරියා, වෙන් වෙන් වශයෙන් විදර්ශනා කරන නුවණ, චරියා නානත්ත ඤාණයයි.

18.චතු ධම්ම වවත්ථානේ පඤ්ඤා
භුමි නානත්තෙ ඤාණං
සතරක් සතරක්ව බෙදී ගිය ධර්ම කොට්ඨාශ මෙනෙහි කිරීමේ නුවණ, භූමි නානත්ත ඤාණයයි

19.නව ධම්ම වවත්ථානෙ පඤ්ඤා
ධම්ම නානත්තෙ ඤාණං

කාමාවචර කුසල වශයෙන් නව නව වැදෑරුම් ධර්ම මෙනෙහි කිරීමේ නුවණ, ධම්ම නානත්ත ඤාණයයි
20.අභිඤ්ඤා පඤ්ඤා , ඤාතට්ඨෙ ඤාණං

ස්කන්ධ පංචකයේ ලක්ඛණ, රස , පච්චුපට්ඨාන, පදට්ඨාන යන ස්වභාව අර්ථ තත්වාකාරයෙන් දන්නා වූ නුවණ, ඤාතට්ඨෙ ඤාණයයි.

21.පරිඤ්ඤා පඤ්ඤා තීරණට්ඨෙ ඤාණං
නාම රූප ස්කන්ධයන්හි සැඟවී ඇති තිලකුණු විවෘත කරන්නා වූ නුවණ, තීරණාට්ඨ ඤාණයයි.

22.පහානෙ පඤ්ඤා පරිච්චාගට්ඨෙ ඤාණං
අනිත්‍යානු පස්සනාදී සප්ත අනුපස්සනාවන්ගේ වශයෙන් නිත්‍ය සංඥාදිය ප්‍රහාණය කරමින් විදර්ශනා මාර්ගයේ කෙළවර පැමිණියා වූ නුවණ පරිච්චාගට්ධෙ ඤාණයයි.

23.භාවනා පඤ්ඤා එක රසට්ඨෙ ඤාණං
ශාන්ත වූ නිවනට සම්ප්‍රාප්ත වීමේ අදිටනින් සද්ධාදී ධර්ම කෙරෙහි ඇති කරගන්නා භාවනාමය නුවණ, ඒක රසට්ඨ ඤාණයයි.

24.සච්ඡිකිරියා පඤ්ඤා ඵුසනට්ඨෙ ඤාණං
නාම රූප ධර්ම වල යථා ස්වභාව ප්‍රතිවේධ කිරීමෙන් හටගන්නා වූ ද , සුවිසුද්ධ පරිපූර්ණ භාවනා ඵලය ගෙන දන්නා වූ ද නුවණ, ඵුසනට්ඨ ඤාණයයි.

25.අත්ථ නානත්ත පඤ්ඤා අත්ථ පටිසම්භිදෙ ඤාණං
හේතු ඵල විපාකාදීයෙහි අර්ථයන්ගේ ඒවායේ නා නා ස්වභාවයන්හි පැවැති නුවණ, අත්ථපටිසම්භිදේ ඤාණයයි.

26.ධම්ම නානත්තෙ පඤ්ඤා ධම්ම පටිසම්භිදෙ ඤාණං
හේතු ධර්ම රාශිය පිළිබඳ යථා ස්වභාවය තත්වාකාරයෙන් අවබෝධ කරගත් නුවණ ධම්මපටිසම්භිදේ ඤාණයයි.

27.නිරුත්ති නානත්තේ පඤ්ඤා නිරුත්ති පටිසම්භිදෙ ඤාණං
අර්ථ ධම්ම නිවැරැදිව පිරිසුදුව භාවිතා කිරීමේ සමර්ථ නුවණ නිරුත්ති පටිසම්භිදේ ඤාණයයි

28.පටිභාන නානත්තෙ පඤ්ඤා පටිභාන පටිසම්භිදෙ ඤාණං
අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිසම්භිදා ඤාණත්‍රය අරමුණු කොට පහළ වන්නා වූ නුවණ පටිභාන පටිසම්භිදා ඤාණයයි.

29.විහාර නානත්තේ පඤ්ඤා විහාරට්ඨෙ ඤාණං
නා නා විදර්ශනා විහරණ නුවණ, විහාරට්ඨ ඤාණය යි

30. සමාපත්ති නානත්තෙ පඤ්ඤා සමාපත්තට්ඨෙ ඤාණං
ලොව්තුරු ඵල සමවතින් හට ගන්නා වූ ද නිත්‍ය සංඥා දිය දුරලන්නා වූද අනිමිත්තා දී නා නා සම්පත්ති පිළිබඳ නුවණ, සමාපත්තට්ඨෙ ඤාණයයි

31.විහාර සමාපත්ති නානත්තෙ පඤ්ඤා විහාර සමාපත්තට්ඨෙ ඤාණං
නිත්‍ය සංඥාදිය දුරලන්නා වූ ද අනිමිත්තානු පස්සනාදිය ඇසුරු කරන්නා වූ ද විදර්ශනා ඵල සමවත් පිළිබඳ නුවණ විහාර සමාපත්තට්ඨෙ ඤාණයයි.

32. අවික්ඛෙප පරිසුද්ධත්තා ආසව සමුච්ඡදෙ පඤ්ඤාආනන්ත.රික සමාධිම්හි ඤාණං
සමාධියම පිරිසුදු කරමින් අනුසය සහිත කාමාදී ආශ්‍රව සිඳලන්නා වූ ආනන්තරික සමාධි ඤාණයෙන් අග තැන්පත් වූ නුවණ ,ආනන්තරිකා සමාධි ඤාණයයි.

33. දස්සනාධිපතෙය්‍යං සන්තොච විහාරාධිගමො පණිතාධිමුත්තතා පඤ්ඤා අරණ විහාරෙ ඤාණං
විදර්ශනාවෙහි අධිපතිභාවයෙන් උපදින්නාවූද, ශාන්ත වූ රහත්ඵල සමවත් සුවය දෙන්නා වූ ද, නිවනෙහි අධිමුක්ති සහිත වූ නුවණ, අරණ විහාර ඤාණයයි.

34. ද්වීහි බලෙහි සම්පන්නාගතත්තා තයෝච සංඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණ චරියාහි නවහි සමාධි චරියාහි වසි භාවතා පඤ්ඤා නිරෝධ සමාපත්තියා ඤාණං.
සමථ විදර්ශනාවෙන් පරිපූර්ණ වූ ත්‍රිවිධ සංස්කාරයන්ගේ නිරෝධය සඳහා වූ ඤාණ පැවතුම් සොළසකින්ද, සමාධිචරියා නවයකින් ද වසී භාවය ඇති නුවණ, නිරෝධ සමාපත්ති ඤාණය යි.

35. සම්පජානස්ස පවත්ත පරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං.
ක්ලේශ පරිනිර්වාණ, ස්කන්ධ පරිනිර්වාණ සර්ව ප්‍රකාරයෙන් දන්නා වූ නුවණ, පරිනිබ්බාණ ඤාණය යි.

36. සබ්බ ධම්මානං සම්මා සමුච්ඡේදෙ නිරොධෙව අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං.
කාම, රූප, අරූප යන තුන් ලොවෙහි සකල ස්කන්ධ නැවත නුපදනා ආකාරයෙන් සිඳීයෑමෙන් අර්හත්වයත්, පරිනිර්වාණයත් එකවර සිදුවන අයුරු තත්ත්වාකාරයෙන් දන්නා වූ නුවණ සමසීසට්ඨෙ ඤාණය යි.

37. පුථූ නානත්තතෙජ පරියාදානෙ පඤ්ඤා සල්ලෙඛටිඨෙ ඤාණං
ලොව්තුරු ගුණෙන් වෙන් වූ රාගාදින් ද නානත්ත වූ කාමච්ඡන්දාදීන් ද ගෙවාලන නුවණ, සල්ලෙඛට්ඨ ඤාණය යි.

38. අසල් ලීනත්ත පහිතත්ත පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං
නොහැකිලුණු සිතැති වූ ද, කාය, ජීවිත නිරපේක්ෂායෙන් හළා වූ ද උත්සාහයේ නුවණ, විරියාරම්භ ඤාණය යි.

39. “නා නා ධම්මප්පකාසනතා පඤ්ඤා අත්‍ථ සන්දස්සනේ ඤාණං
ධර්ම දේශනා කිරීමෙහි පහළ වූ; නා නා ධර්ම ප්‍රකට කොට දක්වන නුවණ, අත්ථ සන්දස්සන ඤාණය යි.

40. සබ්බ ධම්මානං එක සංගහතා නානත්තෙකත්ත පටිවෙධෙ පඤ්ඤා දස්සන විසුද්ධි ඤාණං
සියලු සංඛ්‍යාත, අසංඛත ධර්ම එක එකකින් පිළිසිඳ දැනගන්නා වූ ද නානත්ව, ඒකත්ව ධර්මවල ප්‍රතිවේදයේ ද නුවණ, දස්සන විසුද්ධි ඤාණයයි.

41. විදිතත්තා පඤ්ඤා ඛන්ති ඤාණං
රූපාදී ස්කන්ධ පංචකය පිළිබඳ සියලු තතු විදර්ශනාවෙන් දැනගත්තා වූ නුවණ, ඛන්ති ඤාණය යි.

42. පුට්ඨත්තා පඤ්ඤා පරියොගාහණෙ ඤාණං
රූප ස්කන්ධාදිය ත්‍රිලක්ෂණයට නංවා තියුණු අයුරින් විදර්ශනාවට බැසගත්තා වූ නුවණ පරියෝගාහණ ඤාණ ය යි.

43. සමොදහනෙ පඤ්ඤා පදෙසවිහාරෙ ඤාණං
ස්කන්ධ ආයතනාදීන් අතරින් වේදනාමාත්‍රය වෙන්කොට විදර්ශනා කරන්නවූ නුවණ, පදෙස විහාර ඤාණය යි.

44. අධි පතත්තා පඤ්ඤා විවට්ඨෙ ඤාණං
නෙක්ඛම්ම සංකල්පනාදිය අධිකව වැඩීමෙන් කාමච්ඡන්දාදිය මැඩලන්නා වූ නුවණ, විවට්ට ඤාණය යි.

45. නානත්තෙ පඤ්ඤා චෙතො විවට්ටෙ ඤාණං
ප්‍රහාණය කටයුතු වූ කාමච්ඡන්දාදියෙන් වෙන්කොට නෙක්ඛම්ම ආදියෙහි පිහිටුවන්නා වූ නුවණ, චේතෝවිවට්ට ඤාණය යි.

46. අධිට්ඨානෙ පඤ්ඤා චිත්ත විවට්ටෙ ඤාණං
නෙක්ඛම්මාදියෙහි සිත පිහිටුවාලන භාවිත චිත්ත සන්තිය, භාවනා අරමුණෙහි පිහිටුවාලන නුවණ, චිත්ත විවට්ට ඤාණයයි.

47. සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණ විවට්ටෙ ඤාණං
නාම රූප ස්කන්ධය ආත්ම අත්මීයතාවෙන් ඒකාන්තයෙන් හිස් යැයි දන්නා වූ ශුන්‍යතානු දර්ශන නුවණ, ඤාණ විවට්ට ඤාණය යි.

48. වොස්සග්ගෙ පඤ්ඤා විමොක්ඛ විවට්ටෙ ඤාණං
කාමච්ඡන්දාදියෙන් දුරලන්නා වූ විමුක්තිය ගෙනදෙන ;නක්ඛම්මාචියෙහි පැවති නුවණ, විමොක්ඛ විවට්ට ඤාණය යි.

49. තථට්ඨෙ පඤ්ඤා සච්ච විවට්ටෙ ඤාණං
චතුරාර්ය සත්‍ය අතර වෙන වෙනම ඇත්තා වූ පිළිණ, සංඛනාදී සත්‍යාර්ථ පැහැදිලිව දන්නා වූ නුවණ, සච්ච විවට්ට ඤාණය යි.

50. කායම්පි චිත්තම්පි එක වවත්ථානතා සුඛ සඤ්ඤඤ්ච ලහු සඤ්ඤඤ්ච අධිට්ඨානවසෙන ඉජ්ක්‍ධනම්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධෙ ඤාණං
භාවනා මනසිකාරයෙන් අභිඥා පාදක චතුර්‍ථ ධ්‍යාන චිත්තය හා රූප කය ද එකතුකොට සුඛ සංඥා ලඝු සංඥා අධිෂ්ඨානවෙන් ඉටු වන්නා වූ නුවණ, ඉද්ධිවිධ ඤාණය යි.

51. විතක්ක විප්ඵාර වසෙන නානත්තෙකත්ත සද්ද නිමිත්තානං පරියොගාහණෙ පඤ්ඤා සොත ධාතු විසුද්ධි ඤාණං
ළඟ වූ ද, දුර වූ ද සූක්ෂම වූ ද ඒක විධ, නා නා විධ වූ ද ශබ්ද නිමිති අතිශයින් පැහැදිලිව දැන ගන්නා නුවණ සෝද ධාතු විසුද්ධි ඤාණයය යි.

52. තින්නං චිත්තානං විප්ඵාරත්තා ඉන්ද්‍රියානං පසාද වසෙන නානත්තෙකත්ත විඤ්ඤාණවරියා පරියොගාහණෙ පඤ්ඤා චේතොපරි ඤාණං
සොම්නස්, දොම්නස්, මැදහත් වේදනා සහිත චිත්ත වේගයෙන් ප්‍රසන්න වූ ද, අප්‍රසන්න වූ ද, ඉන්ද්‍රිය සදෙනාගේ වශයෙන් අනුන්ගේ සිත් සතන් ඇති සැටියෙන් දැන ගන්නා නුවණ, චේතෝපරිය ඤාණය යි.

53.පච්චය පවත්තානං ධම්මානං නානත්තෙක්ත්ත කම්ම විප්ඵාර වසෙන පරියොගාහණෙ පඤ්ඤා පුබ්බේ නිවාසානුස්සති ඤාණං
කුසලා කුසල කර්ම හේතුකොටගෙන පෙර විසූ කඳපිළිවෙළ තත්ත්වාකාරයෙන් දන්නා නුවණ, පුබ්බේ නිවාසානුස්මෘසති ඤාණය යි.

54. ඔභාස වසේන නානත්තෙකත්ත රූප නිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බ චක්ඛු ඤාණං
තේජෝ කසිණ ඕදාත කසිණ ආලෝක කසිණ යන කසිණ අනුව ලබන චතුර්ථ ධ්‍යාන දිවැස් නුවණ, දිබ්බචක්ඛු ඤාණය යි.

55.චතුසට්ඨියා ආකාරෙහි තින්නන්නං ඉන්ද්‍රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං
සූ සැට ආකාරයකින් ලෝකෝත්තර ඉන්ද්‍රිය තිදෙනාගේ වසී භාවයෙහි පැමිණි නුවණ, ආසවක්ඛය ඤාණ ය යි.

56. පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛේ ඤාණං
පිළින, සංඛත, සන්තාප විපරිණාම යන සතර වැදෑරුම් වූ දුක්ඛාර්ථ ඇති සැටියෙන් දන්නා වූ නුවණ, දුක්ඛේ ඤාණය යි.

57. පහානට්ඨෙ පඤ්ඤා සමුදයෙ ඤාණං
ආයුහණ, නිදාන, සංයෝග, පළිබෝධ යන සිවු වැදෑරුම් සමුදයාර්ථ නුවණින් දැක සමුදය සත්‍යය ප්‍රහාණය කරමින් උපදින්නා වූ නුවණ, සමුදයේ ඤාණය යි.

58. සච්ඡි කිරියට්ඨෙ පඤ්ඤා නිරෝධෙ ඤාණං
නිස්සරණ, විවේක, අසංඛත අමත යන සිවු පරමාර්ථ දන්නා නුවණ, නිරෝධයේ ඤාණය යි.

59. භාවනට්ඨෙ පඤ්ඤා මග්ගෙ ඤාණං
නිය්‍යාණික, හේතු දස්සන ආධිපතෙය්‍ය යන මාර්ගාර්ථතත්ත්වාකාරයෙන් දන්නා නුවණ, මග්ග ඤාණය යි.

60. දුක්ඛෙ ඤාණං
ස්කන්ධ රැස් කිරීමෙහි හා විපරිණාමයෙහි හටගන්නා වූ දුක අවබෝධ කිරීමේ නුවණ, දුක්ඛේ ඤාණය යි.

61. දුක්ඛ සමුදෙය ඤාණං
දුකට හේතු වූ තෘෂ්ණාව මනාව හඳුනා ගැනීම දුක්ඛ සමුදයේ ඤාණය යි.

62. දුක්ඛ නිරෝධ ඤාණං
ස්කන්ධ දුක්ඛයෙන් තොර වූ තෘෂ්ණාවට අරමුණු නොවන්නා වූ සිවු ම¼ග නුවණින් දත යුතු වූ නිර්වාණ ධාතුව තත්ත්වාකාරයෙන් අවබෝධ කළා වූ නුවණ, දුක්ඛ නිරෝධ ඤාණය යි.

63. දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාය ඤාණං
සත්‍ය දර්ශනයෙන්ම සනාථ වූ ආර්ය මාර්ගය පිළිබඳ සියල්ල දන්නා වූ නුවණ, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ඤාණය යි.

64. අත්ථ පටිසම්භිදෙ ඤාණං
ආර්ය පුද්ගලයන්ට ලැබෙන්නා වූ සියලු අර්ථ සමූහය උසුලන්නා වූ විසුද්ධ වූ නුවණ, අත්ථ පටිසම්භිදේ ඤාණය යි.

65. ධම්ම පටිසම්භිදෙ ඤාණං
පරිපූර්ණ ධර්මකාය සමාපත්තියෙන් යුක්ත වූ සියලු ධර්ම සමුහය උසුලන්නා වූ නුවණ, ධම්ම පටිසම්භිදේ ඤාණය යි.

66. නිරුත්ති පටිසම්භිදේ ඤාණං
නිරුත්තිය ලොවට පහදා වදාළ නුවණ, නිරුත්ති පටිසම්භිදේ ඤාණය යි.

67. පටිභාන පටිසම්භිදේ ඤාණං
අර්ථ , ධර්ම නිරුත්ති ඤානත්‍රය දන්නා නුවණ, පටිභාන පටිසම්භිදේ ඤාණයයි.

68. ඉන්ද්‍රිය පරෝපරියත්තෙ ඤාණං
මඟඵල නිවන් සුව ලැබීමේ හේතු සම්පත් ඇත්තා වූ විනේ දනන්ගේ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්ම පිළිබඳ වැඩුණු නොවැඩුණු උස් පහත් බහ හා හීන ප්‍රනීතාදිය පිළිබඳ දන්නා නුවණ, ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණය යි.

69. සත්තානං ආසයානුසයෙ ඤාණං
සත්වසන්තානයේ ඇති සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි, නෙක්ඛම්ම මනසිකාරාදී පරිභාවිත ස්වභාව නම් වූ ආසය දන්නා වූ ද, සත්ව සන්තානයේ හටගන්නා ක්ලේශ නම් වූ අනුසය දන්නා වූ ද නුවණ, ආසයානුසයේ ඤාණය යි.

70. යමක පටිහාරියෙ ඤණං
සෘද්ධි බලයෙන් හෙට්ඨිමකාය, උපරිමකාය, සකල ශරීර ප්‍රදේශයෙන් එක්වර ගිනිකඳ, දිය කඳ විහිදුවමින් පානා ප්‍රාතිහාර්ය දන්නා නුවණ, යමක පටිහාරියේ ඤාණය යි.

71. මහාකරුණා සමාපත්තියා ඤාණං
සසර කතරේ ඉපදෙමින් මැරෙමින් දුක් විඳින සත්වයා ඒ දුකින් මුදවා ගනිමියි මෙනෙහි කරන නුවණ මහාකරුණා සමාපත්ති ඤාණය යි.

72. සබ්බඤ්ඤුත ඤාණං
හේතුවෙන් හටගන්නා වූ සංඛත ධර්මද, හේතුවෙන් හටගන්නා වූ අසංඛත නිර්වාණ ධර්මය ද සර්වඥතා ඤාණයෙන් දැනගන්නා වූ නුවණ, සබ්බඤ්ඤුත ඤාණය යි.

73. අනාවරණ ඤාණ
සර්වඥතා ඤාණයට කිසි තැනකදී ආවරණය නොවන්නා වූ ආවර්ජනා කළ මාත්‍රයෙන් සියල්ල අරමුණ කරන්නා වූ නුවණ පහාවරණ ඤාණය යි.

ආර්යකාන්ත ශීලය පිළිබඳ අචල ශ‍්‍රද්ධාව


අංගුත්තර නිකායේ නවක නිපාතයේ ඇති, අනේපිඩු සිටු අමතා දෙසන ලද පඨමවෙරභය සූත‍්‍රයේ දී බුදුපියාණන් වහන්සේ “ආර්ය ශ‍්‍රාවකයා සතර සෝතාපත්ති අංගයන්ගෙන් සමන්විත යැ’යි පවසති. එම සෝතාපත්ති අංග සතරින් සිවුවැන්න මෙසේ විස්තර කෙරේ.

“අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති, අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ප්පසෙත්‍ථහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි.” නො කැඩුණු, නො සිදුරුවුණු, කබරපැහැ නොගත්, ලප නැති, නිදහස්, නුවණැත්තන් විසින් පසසන ලද, තණ්හා දෘෂ්ටි දෙකින් පරාමර්ශනය නොකරගත්, සමාධි සංවර්තනික ආර්යයන්ට පි‍්‍රය ශීලයෙන් යුක්ත වෙයි.

දිනක් එක්තරා දෙවියෙක් බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ, මේ ලෝක ප‍්‍රජාව අභ්‍යන්තරික හා බාහිර ගැටලුවලින් වෙලී පැටලී සිටින බව පවසා “කවරෙක් නම් මේ ගැටලු විසඳ්‍රගන්නේ ද?” යි ප‍්‍රශ්න කෙළේ ය. එම පැනයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ “ති‍්‍රහේතුක ප‍්‍රතිසන්‍ධියකින් උපන් නුවණැති මිනිසා සීලයෙහි පිහිටා (සීලෙ පතිට්ඨාය) චිත්ත සමාධිය ද විදර්ශනා ප‍්‍රඥාව ද වඩන්නේ ය. (චිත්තං පඤ්ඤං ච භාවයං) කෙලෙස්තවන වීර්ය ඇති පාරිහාරිය ප‍්‍රඥාවන්තයා (වූ භික්‍ෂුව) ම එම ගැටලු නිරවුල් කරගන්නේ ය” යනුවෙන් පැවසූහ. (සංයුක්ත නිකාය - දේවතා සංයුක්තය)

මෙසේ පැවසෙන බෞද්ධ අනුපූර්ව ප‍්‍රතිපදාවෙහි පළමු පියවර සීලයයි. සීල - සමාධි – ප‍්‍රඥා යන ආර්යමාර්ග ශික්‍ෂණයෙහි අඩිතාලම වන සීලය විවිධාකාරයෙන් වර්ගීකරණය කරනු ලැබේ. විසුද්ධි මාර්ගයේ සීල නිද්දේසය කියවීමෙන් සීලයේ ඇති විවිධ ප‍්‍රභේද වටහාගත හැකිය. එහි නො සඳහන් වන නමුත් සූත‍්‍ර ධර්මවල වෙසෙසින් වර්ණනා කෙරෙන සීලයකි “අරියකන්ත සීලය.”

අරියකන්ත (ආර්යකාන්ත) ශීලය නම් ආර්යයන්ට ම රුචි වූ ශීලයයි. එනම් පංචසීලය යි. “පඤ්චසීලං හි අරියානං කන්තත්තා පියත්තා අරියධම්මො නාම. භවන්තරගතා’පි අරියා තං න විජහන්ති.” පංචසීලය වනාහි ආර්යයන්ට කාන්ත වූ බැවින්, පි‍්‍රයමනාප වූ බැවින් ‘ආර්යධර්ම’ නම් වේ. භවාන්තර ගතවූවාහු (වෙනත් භවයක උපත ලැබූ) නමුත් ඔවුහු එය අත්නොහරිති.

මෙහිදී පළමුවෙන් ම ආර්ය ශ‍්‍රාවකයා හෙවත් ආර්යයා යනු කවරෙක්දැයි වටහාගැනීම අවශ්‍ය වේ.ධර්මයට අනුව ආර්ය යන්නෙහි ශ්‍රේෂ්ඨයා, උත්තමයා යන අර්ථ ගැබ් වී ඇත. “කිලෙසාරයො හන්තීත්‍යරහා. අරහා එව අරියො.” යන විවරණයට අනුව කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වූ රහත් පුද්ගලයා ම ආර්ය නම් වේ. “අරියා වුච්චන්ති බුද්ධා ච පච්චෙක බුද්ධා ච බුද්ධ සාවකා ච.” මෙම විග‍්‍රහයට අනුව බුදුවරු ද පසේබුදුවරු ද බුද්ධ ශ‍්‍රාවකයෝ ද ආර්යයෝ යැයි කියනු ලැබෙති. තවත් විටෙක ධර්ම ග‍්‍රන්‍ථවල ආර්යයෝ සිවු කොටසක් ලෙස දක්වා ඇත.

1. ආචාර අරිය – මිනිසෙක් හෝ තිරිසනෙක් හෝ නොකළයුතු අනාචාරයන් නොකර දුරු කිරීමෙන් ද කළයුතු වූ නිරවද්‍ය ආචාරයන් (උචිත ශිෂ්ට දේ පමණක්) සිදුකිරීමෙන් ද සදාචාර ගුණයෙහි පිහිටියේ නම් හේ ආචාර අරිය නම්.

2. දස්සන අරිය – ප‍්‍රසාද ජනක, දර්ශනීය, පියකරු වූ රූපයෙන් හා ප‍්‍රසාද එළවන ඉරියව්වෙන් යුක්ත පුද්ගලයා දස්සන අරිය නම් වේ.

3. ලිංග අරිය – පාසිවුරු දැරීම, හිස මුඬු කිරීම ආදී ආකල්ප සණ්ඨාණයන්ගෙන් පමණක් ආර්ය පුද්ගලයන් හා සමාන වූ දුස්සීල, අලජ්ජි පුද්ගලයා ලිංග අරිය නම් වේ.

4. පටිවේධ අරිය - සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණියා වූ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ (ප‍්‍රතිවේධ) කළ බුදු, පසේබුදු, මහරහතුන් වහන්සේලා පටිවේධ අරිය නම් වේ.

‘අරිය සාවකා’ යන පාලි වචනයට අදාළ වූ ආර්ය ශ‍්‍රාවකයෝ ලෙස අප මෙහිදී ගතයුතු වන්නේ සිවුවැනිව දැක්වූ පටිවේධ අරිය පුද්ගලයෝ ම ය. බොහෝ සූත‍්‍ර ධර්මවල “අරිය සාවකො” යන යෙදුමෙන් අර්ථවත් කරනුයේ සෝවාන් මඟට පිළිපන් පුද්ගලයා ය. සංගීති සූත‍්‍රයේ කියැවෙන පරිදි සෝවාන්වූවහුගේ අංග සතරින් (චත්තාරි සොතාපන්නස්ස අංගානි) සිවුවැන්න නම් අචල වූ (නොසෙල්වෙන) ආර්යකාන්ත ශීලයෙන් යුක්තවීමයි. ගිහි පැවිදි භේදයක් නැතිව සෝවාන් ආදී මාර්ග සතරට හා ඵල සතරට පැමිණි සේඛ – අසේඛ පුද්ගල දෙවර්ගය ම ආර්ය ශ‍්‍රාවක නාමයට අයත් වේ. එම උතුම් පුද්ගලයන් අටදෙනාගේ (අට්ඨපුරිස පුග්ගලා) පි‍්‍රයභාවයට, කැමතිභාවයට ගියා වූ ශීලය ම මෙහිදී ආර්යකාන්ත ශීලය ලෙස හැඳින්වේ.

දැන් එකී ආර්යකාන්ත ශීලය යනු කුමක්දැයි විමසා බලමු. ඉහතින් ද දැක්වූ පරිදි එම අරියකාන්ත ශීලය නම් පංචසීලය යි. ඒ පිළිබඳව තවදුරටත් විමසා බැලීමේ දී පහත එන විග‍්‍රහය අපට වැදගත් වේ.

“අරියකන්තසීලානි නාම පඤ්චසීලානි, තානි හි භවන්තර ගතොපි අරියසාවකො අත්තනො අරියසාවකභාවං අජානන්තොපි න වීතික්කමති. සචෙපි හි තං කොචි වදෙය්‍ය ඉමං කසල චක්කවත්තිරජ්ජං පටිච්ජිවා බුද්දකමක්ඛිකං ජීවිතං වොරොපෙහීති, අට්ඨානමෙතං යං සො තස්ස වචනං කරෙය්‍ය.”

ආර්යකාන්ත සීල නම් පංචසීලය යි. අන්‍යභවයකට ගියාවූද ආර්ය ශ‍්‍රාවකයා තමා පෙර අත්බව ආර්යශ‍්‍රාවකයකුව සිටි බව නොදන්නේ නමුදු, ඒ ශීලය (පංචසීලය) නො ඉක්මවයි. ඉදින් ඔහුට යම් කිසිවෙකු “මේ මුළු සක්විති රාජ්‍යය ම පිළිගෙන එක් කුඩා මැස්සකුගේ දිවි තොරකරව“ යි කියා නම් එම වචනය ඉටුකරගන්නේ ය යන මේ කාරණය හේතු රහිත ය. (කෙදිනකවත් සිදු නොවන්නේ ය.) හෙවත් අරියකාන්ත සීලය පිළිබඳ අචල (නොසැලෙන) ශ‍්‍රද්ධාවෙන් යුතු පුද්ගලයා උපරිම කාමසම්පත් විඳීමට වාසනාව තිබුණත් ඒ හේතුවෙන් කිසිසේත් ම තම සීලය කඩ නොකරන්නේ ය.

දිවිගිය ද ආර්ය ශ‍්‍රාවකයා පන්සිල් නොකඩන බවත් හෙතෙම ආර්යභාවයට පත්වූ දින සිට (හෙවත් සෝවාන් මඟට පිළිපන් දා සිට) අනූපදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවනට පත්වන තුරු ම කෙදිනකවත් ප‍්‍රාණඝාතාදියක් නොකරන බවත් මෙම ප‍්‍රකාශනයේ අදහසයි. රතන සූත‍්‍රයේ ගාථා රැසකින් සෝවාන් වූ පුද්ගලයාගේ ගුණ වර්ණනා කෙරේ.

සතර අපායෙහි නොවැටීමත් - සයවැදෑරුම් බරපතල පාප කර්මයන් කරන්නට නුසුදුස්සෙක් වීමත් (චතූහපායෙහි ච විප්පමුත්තො - ඡ චාභිඨානානි අභබ්බො කාතුං) සෝවාන් වූවහුගේ ගුණාංගයෝ ය.

මෙහි ඔහු නොකරන “සයවැදෑරුම් බරපතල පාප කර්ම” නම් ආනන්තරීය පාපකර්ම පස (5) සහ තථාගතයන් වහන්සේ හැර වෙනත් කිසිඳු ශාස්තෘවරයෙකු නොපිළිගැනීමයි. හෙවත් මිසදිටු පවුලක ඉපදුනත් ස්වභාවයෙන් ම බුදුසරණ ගිය ශ‍්‍රාවකයකු වන බවයි.

සංයුක්ත නිකායේ චක්ඛු සූත‍්‍රයේ දී යම් පාප කර්මයක් කිරීමෙන් නිරයේ හෝ තිරිසන් භවයේ හෝ පේ‍්‍රත භවයේ හෝ උපදිත් ද එබඳු පාපකර්ම සෝවාන් පුද්ගලයා විසින් නොකරන’ බව කියැවේ. එනිසා ආර්ය ශ‍්‍රාවකයා නරක – තිරිසන් - පේ‍්‍රත – අසුර යන සිවු අපායෙහි නූපදින්නේ ම ය. එවැනි ආනිසංසයක් ආර්යමාර්ගයට පිවිසි පළමු පියවරේ දී ම ලැබෙනුයේ ඔහු දිවිහිමියෙන් ආර්යකාන්ත ශීලය ආරක්‍ෂා කරන බැවිනි.

කිසිඳු හේතුවකින් ති‍්‍රවිධ රත්නය කෙරෙහි විපරිත සිත් ඇති බවට (අඤ්ඤථත්තං), දොම්නස් බවකට (දොමනස්සං) නොපැමිණෙන ඝටීකාර කුම්භකාරතෙමේ ද ආර්යකාන්ත ශීලයෙන් යුක්ත බව වරක් කිකී නම් කසී රජුට කාශ්‍යප බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. (මජ්ම නිකාය II - ඝටීකාර සූත‍්‍රය – බු. ජ. ති‍්‍ර. – 412 පිටුව) එම ඝටීකාර සූත‍්‍රයෙහි ඝටීකාර උපාසකතුමාගේ සීලය මෙසේ දැක්වේ.

“ඝටීකාරො බො මහාරාජ, කුම්භකාරො පාණාතිපාතා පටිවිරතො, අදින්නාදානා පටිවිරතො, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමේරය මජ්ජපමාදට්ටානා පටිවිරතො.” – මහරජ, ඝටීකාර කුම්භකාරතෙම

1. පරපණ නැසීමෙන් තමන් ම වැලකුණේ වේ. අනුන් ද ඉන් වලක්වන්නේ වේ. නිතර අන්‍යයන්ට අභයදීමෙහි ගුණ කියන්නේ වේ.

2. නුදුන්දේ ගැනීමෙන් තමන් ම වැලකුණේ වේ. අනුන් ද ඉන් වලක්වන්නේ වේ. නිතර සොරකම් නොකිරීමෙහි ගුණ කියන්නේ වේ.

3. වැරදි ලෙස කම්සැප විඳීමෙන් තමන් ම වැලකුණේ වේ. අනුන් ද ඉන් වලක්වන්නේ වේ. නිතර ස්වදාර සන්තෝෂයෙහි ගුණ කියන්නේ වේ.

4. බොරු කීමෙන් තමන්ම වැලකුණේ වේ. අනුන් ද ඉන් වලක්වන්නේ වේ. නිතර සත්‍යවාදී වීමෙහි ගුණ කියන්නේ වේ.

5. මදයට හා පමාවට හේතුවන රහමෙර පානයෙන් තමන් ම වැලකුණේ වේ. අනුන් ද ඉන් වලක්වන්නේ වේ. නිතර සුරාවෙහි හා සූදුවෙහි අගුණ කියන්නේ වේ.

පංචසීලය බෞද්ධ ගිහි පින්වතුන්ගේ නිත්‍ය ශීලයයි. එමෙන්ම මුළු ලෝකයට එක ම පාලනයක් ගෙනයන සක්විති රජුගේ පාලන ප‍්‍රතිපත්තිය  පංචසීලය යි. එම සාමාන්‍ය පංචසීල සමාදානයෙන් සෝවාන් වූ ආර්ය ශ‍්‍රාවකයා සුරකින මෙම අරියකන්ත සීලය විශේෂවනුයේ එහි ඇති සුවිශේෂී අංග අටක් නිසයි. ආරම්භයේ දී නාමිකව දැක්වූ එම අංග අටෙහි විස්තරාර්ථ මෙසේ ය.

1. අඛණ්ඩ – තමන් රකින ශීලයෙහි මුලින් හෝ අඟින් සිකපද නොකැඩී ඇති බව

2. අච්ජිද්ද - ශීලයෙහි මැදින් සිකපද නොකැඩී ඇති බව

3. අසබල - ශීලයෙහි පිළිවෙලින් සිකපද දෙක තුනක් කැඩී නැති බව

4. අකම්මාස - ශීලයෙහි අතරින් පතර සිකපද නොකැඩී ඇති බව

5. භුජිස්ස - තණ්හාවට දාසයකු නොවී රක්නා සිල් ඇති බව

6. විඤ්ඤුප්පසත්‍ථ – බුද්ධාදී උතුමන් විසින් පසසන ලද සිල් ඇති බව

7. අපරාමට්ඨ – තණ්හාවෙන් හා මිසදිටු ලෙස දැඩිව අල්ලාගෙන රක්නා සිල් නැති බව

8. සමාධි සංවත්තනික – උපචාර සමාධි හා අර්පණා සමාධි ලැබීමට සුදුසු වූ සිල් ඇති බව

මුල් අංග සතරේ අදහස නම් කවරාකාරයකින්වත් නොකැඩුණු පිරිසිදු සීලයක් ඇති බවයි. සීලබ්බතපරමාස සංයෝජනයෙන් වියුක්තව පන්සිල් සුරැකීමත්, එම සීලයේ ඇති ආනිසංසයනුත් පසුව එන අංග සතරින් කියැවේ.

දුතිය පුඤ්ඤාභිසන්ද සූත‍්‍රයට අනුව ආර්ය ශ‍්‍රාවකයා අරියකන්ත ශීලයෙන් යුක්තවීමේ ආනිසංස රැසකි. සිවුවන පුණ්‍ය ප‍්‍රවාහය (පුඤ්ඤාභිසෙදා), කුසල ප‍්‍රවාහය (කුසලාභිසෙදා) ලෙස විග‍්‍රහ වන අරියකන්ත ශීලය සුරැකීම සුව එළවන්නකි. (සුඛස්සාහාරො) මනා වූ අග‍්‍ර වූ රූපාදී සම්පත් ගෙන දෙන්නකි. (සොවග්ගිකො) සැපවිපාක ඇති එය (සුඛ විපාකො) ස්වර්ග සම්පත් සාදාදෙන්නකි. (සග්ගසංවත්තනිකො) තවද එම ශීලය ඉෂ්ට බව පිණිස (ඉට්ඨාය), කාන්ත බව පිණිස (කන්තාය), මනවඩන බව පිණිස (මනාපාය), හිත පිණිස (හිතාය), සැප පිණිස (සුඛාය) පවතියි.

එක්තරා දිළින්දෙක් තථාගත දේශීය සසුනෙහි ශ‍්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ‍්‍රැතයෙන්, ත්‍යාගයෙන් හා ප‍්‍රඥාවෙන් යුක්තව සිට මරණින් පසු තව්තිසාවේ ඉපිද සෙසු දෙවියන්ට වඩා ශරීර වර්ණයෙන් ද යසසින් ද බැබලුණේ ය. (අතිරොචති වණ්ණෙන චෙච යසසා ච)

මෙනිසා අප‍්‍රසාදයට පත් සෙසු දෙවියන්ගේ ගැරහුමට එම වාසනාවන්ත දෙවිඳු ලක්වනු දුටු ශක‍්‍රදේවේද්‍රයා මෙසේ පවසයි. (සංයුක්ත නිකාය - I- සක්ක සංයුක්තයදළිද්ද සූත‍්‍රය – බු. ජ. ති‍්‍ර. – 412 පිටුව)

“යස්ස සද්ධා තථාගතෙ – අචලා සුප්පතිට්ඨිතා

සීලඤ්ච යස්ස කල්‍යාණං - අරියකන්තං පසංසිතං”

“යමෙකුට තථාගතයන් වහන්සේ පිළිබඳ අචල වූ මනාව පිහිටි ශ‍්‍රද්ධාව ඇත්තේ ද යමෙකුට මාර්ග ඵල සම්ප‍්‍රයුක්ත හෙයින් ආර්යකාන්ත වූ (බුද්ධාදී උතුමන් විසින්) පසසන ලද්දා වූ කල්‍යාණ (යහපත්) ශීලය ඇත්තේ ද සංඝ රත්නය හා ධර්ම දර්ශනය කෙරහිත් අචල ප‍්‍රසාදය ඇත්තේ ද ඔහු දිළින්දෙකු නොවේයැයි නුවණැත්තෝ කියති. (අදළිද්දොති තං ආහු) ඔහුගේ ජීවිතය නොසිස් වූවකි.” (අමොඝං තස්ස ජීවිතං)

මෙසේ බුද්ධාදී ආර්යයන් විසින් නිති පසස්නා ලද, සෝවාන් ආදී මඟඵල ලැබූ ආර්ය ශ‍්‍රාවකයන් විසින් තිති සෙවුනා ලද, මහේශාක්‍යභාවයෙන් කාමසුගතීන්හි ඉපදීම ගෙනදෙන, නිරන්තරයෙන් ම සඟමොක් සුව සදාලන ආර්යකාන්ත ශීලය පිළිබඳව අචල ශ‍්‍රද්ධාව පිහිටුවා ගැනීමෙන් විචිකිච්ඡාව ප‍්‍රමුඛ වූ අකුසල් දුරුකර, ශ‍්‍රද්ධාසීලාදී කුසලාභිවර්ධනයට නුවණැත්තන් විසින් උත්සාහ කටයුතුයි.